ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ට භූමිය අහිමි වුවත්, මෙම ජිහාඩ් අන්තවාදීන්ගෙන් ලොවට සිදුවිය හැකි අවදානම පහව ගොස් නොමැති බව ඇමෙරිකානු ජනපතිවරයා මෙන්ම, බටහිර නායකයෝ අනතුරු අඟවති.
2015 ජනවාරි මාසය වනවිට සිරියාවේ සහ ඉරාකයේ විශාල භූමියක සිය ඉස්ලාම් රාජ්‍යයේ අණසක පැතිරවීමට සමත් වූ ISIS ජිහාඩ් ත්රස්තයන්ගේ සිහින රාජ්‍ය සම්පූර්ණයෙන්ම ඔවුන්ට අහිමි වූයේ පසුගිය සෙනසුරාදාය.
එහිදී, කුර්දි සටන්කාමීන් ප්රමුඛ ප්‍රජාතාන්ත්‍රික බලකාය (SDF) විසින් IS ඉස්ලාම් රාජ්‍යයේ සමස්ත බිඳ වැටීම නිල වශයෙන් ලෝකය වෙත දැනුම් දෙන ලදී. IS ත්රස්තයන් අවසන් වරට පාලනය කළ සිරියාවේ බාගූස් නගරයේ බලයද සියතට ගනිමින්, ඔවුන්ගේ SDF ධජය ලෙලවමින් මෙම ජයග්‍රහණය සැමරීමට එම බලකායන් ක්‍රියාකර තිබුණි.
වසර පහක කාලයක් ඉස්ලාම් රාජ්‍ය ලෙස ජිහාඩ් අන්තවාදී පාලනයක් ඇති කරමින් කටයුතු කළ මෙම ත්රස්තයන්ගේ පරාජය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම බටහිර නායකයන් රැසක් සිය සතුට පළ කර ඇත. එමෙන්ම, ලෝකයට සාපයක්ව ඇති IS ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම මිහිතලයෙන් අතුගා දමන දිනය පැමිණෙන තුරු ඇමෙරිකාව අවදියෙන් සිටින බවද ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි.
IS ත්රස්තයන් සිරියාවේ සහ ඉරාකයේ සිය බලය පැතිරවීමේ උච්චතම අවස්ථාවේදී වර්ග කිලෝමීටර් 88,000ක භූමි ප්‍රමාණයක් පාලනය කළ අතර, වසර 5ක් පුරා මෙම ත්රස්තයන්ට එරෙහිව ගෙනගිය යුද්ධයේදී ඔවුන්ට ක්‍රමයෙන් සිය භූමිය අහිමි වී පසුගිය සෙනසුරාදා වනවිට සිරියාවේ ඉතිරිව තිබූ අවසන් නගරය හා ඉතා කුඩා භූමි භාගයද මෙසේ ඔවුන්ගෙන් ගිලිහී ගියේය.