දේව අපහාස චෝදනාවක් යටතේ මරණ දඬුවමට ලක්ව පාකිස්තාන අධිකරණයෙන් නිදහස ලැබූ ආසියා බිබීගේ තීන්දුවට එරෙහි ඇපෑලද එරට ඉහළම අධිකරණය ඉවත දමා තිබේ.
පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය නිවැරදි බව පවසමින් ඇය තවදුරටත් වරදකරුවෙකු නොවන බවත්, ඇයට මරණ දඬුවම හිමි නොවන බවත් අවධාරණය කර තිබේ.
කිතුණුවකු වූ ආසියා බිබී තම අසල්වැසි නිවසක් සමග ආරවුලකදී දේව අපහාසයක් කළේ යැයි චෝදනා ලබමින් 2010 වසරේදී මරණ දඬුවමට යටත්ව වසර 8ක කාලයක් සිර දඬුවම් වින්ඳාය.
නමුත්, මෙම නඩු විභාගය පුරා තමා නිර්දෝෂී පුද්ගලයෙකු බව ඇය කියා සිටි අතර, අදාළ නඩු තීන්දුව ලැබෙන තෙක් ලොව බොහෝ පිරිස් ඒ වෙත අවධානය යොමුකළහ.
අවසානයේදී ඇයට නිදහස හිමිවෙමින්, ඇගේ මරණ දඬුවම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළද, දැඩිමතධාරීන් ඇයට දඬුවම් දියයුතු බව කියමින් යළිත් ඇපෑලක් ඉදිරිපත් කරන්නට විය. මේ අවස්ථාවේදී එය ඉවත දැමීම ආසියා බිබී දෙවැනි අවස්ථාවටත් නිදහස ලැබීමක් හා සමාන වී තිබේ.