එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු මානුෂීය ආධාර ලබාදෙන්නේ යැයි පවසන ආයතන නියෝජනය කරමින් සිරියාවේ සහන සේවා රැගෙන එන පුරුෂයන් අතින් එරට කාන්තාවන් හා තරුණියන් ලිංගික සූරාකෑමකට ලක්වන බව අනාවරණය වී තිබේ.
එරට කටයුතු රාජ්‍ය නොවන සංවිධාන පවසන්නේ සහන සේවා රැගෙන එන පුරුෂයන් ආහාර වෙනුවට අසරණ වී සිටින සිරියානු කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ලබාගන්නා බවයි.
මීට වසර තුනකට පෙරදීද මෙවැනි ලිංගික සූරාකෑමක් සම්බන්ධයෙන් නැඟුණු චෝදනාවක් හේතුවෙන් එසේ පැමිණෙන පුරුෂයන් වෙත අනතුරු ඇඟවීමක් සිදුකර තිබුණත්, නවතම වාර්තාවකින් පවසා තිබුණේ එම ඛේදජනක තත්ත්වය තවදුරටත් සිරියාවේ ක්‍රියාත්මක වන බවයි.
ඒ නිසා භාණ්ඩ බෙදාදෙන මධ්‍යස්ථාන වෙත යෑමට සිරියානු කාන්තාවන් මැලිකමක් දක්වන බවත්, ඔවුන්ට එම ස්ථානවලින් නිවසට අවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට නම් ඔවුන්ගේ ශරීර ඒ කාමාතුරයන්ට ප්රදානය කළ යුතුව ඇති බවත් කියැවෙයි.
මේ අතර, ඇතැම් ආයතන මෙම චෝදනාව සම්බන්ධයෙන් නෑසූ කන්ව සිටින බවටද චෝදනාවක් පවතී. දැඩි ගැටුම් පවතින පළාත්වල සිටින පිරිස් වෙත ආධාර ලබාදීමට ඒ ඒ රටවල සිටින පිරිස්ම යොදාගැනීමට ඔවුන්ට සිදුවීම නිසා මීට විකල්පයක් බොහෝ ආයතන සතුව නොමැති බවද කියැවෙයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ තවත් සහන සේවා සපයන ආයතන කිහිපයක් පවසා තිබුණේ මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් තම ආයතන කිසිම ඉවසීමක් හෝ බුරුලක් නොදෙන බවකි.