පුද්ගලයන් 239 දෙනෙකු සමග පසුගිය මාර්තු 08 වැනිදා අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානය අතුරුදන් වී අදට (16දා) දින 100ක් ගත වී තිබේ.
අතුරුදන් වී ඇති ගුවන් යානයේ ගමන් කළ මගීන්ගෙන් වැඩි පිරිසක් චීන ජාතිකයන් වන අතර, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් තම ඥාතීන් නැවත පැමිණෙන ලෙස අයදිමින් ආගමික වතාවත්වල නිරත වන බව කියැවෙයි.
යානය කෙසේ අතුරුදන් වූයේද හා සිය ඥාතීන්ට සැබවින්ම සිදුවූයේ කුමක්ද යන්න දැනගැනීම ඔවුන්ගේ ඒකායන බලාපොරොත්තුව බවට පත්ව තිබේ.
කෙසේ වෙතත් යානය සෙවීමේ මෙහෙයුම් කිසිම අයුරකින් අත් නොහරින බවට බලධාරීන් පොරොන්දු වී ඇත.
ක්වාලලාම්පූර් නුවර සිට බීජිං බලා ගුවන්ගත වී පැයක පමණ කාලයකින් රේඩාර් තිරයෙන් අතුරුදන් වූ යානය එතැන් සිට සෙවීමේ කටයුතු සිදු කළත් ඒ ගැන කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට තවමත් කිසිදු ජගතෙකුට නොහැකි වීමද විමතිය දනවන්නක් බවට පත්ව තිබේ.
චන්ද්රිකා දත්ත උපයෝගී කරගනිමින් කළ පරීක්ෂණයන්ට අනුව යානය දකුණුදිග ඉන්දීය සාගරයෙන් ගමන් අවසන් කර ඇති බවට විශ්වාස කරමින් සිදුකළ නිරීක්ෂණයන්ද තවමත් සාර්ථක වී නොමැත.