MH17 ගුවන් යානයේ ගමන්ගත් පිරිසේ මළ සිරුරුවලින් කොටසක් ගුවන් මගින් නෙදර්ලන්තය වෙත ගෙන ගිය බවත්, ඩී.එන්.ඒ. පරීක්ෂණයකින් පසුව මෙම සිරුරු හඳුනාගැනීම අරමුණ වී ඇති බවත් විදෙස් පුවත් සේවා පවසයි.
කෙසේ වෙතත් මේ සඳහා තවත් මාසයක පමණ කාලයක් ගත වෙනු ඇති බව විශේෂඥයන්ගේ මතය වී තිබේ.
අධි ශීත මැදිරි සහිත දුම්රියක තැන්පත් කළ 282 කගේ සිරුරු සහ තවත් 16 දෙනෙකුට අයත් සිරුරු කොටස් 87ක් යුක්රේන බලධාරීන් වෙත භාර දුන් බව කැරලි කණ්ඩායම පවසා සිටියත්, දුම්රිය තුළ ඇත්තේ සිරුරු 200ක් පමණක් බව අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නෙදර්ලන්ත කණ්ඩායම ඊයේ කියා සිටියේය.
මේ නිසා සිරුරු සියල්ලම හමුවන තෙක් තමන් යුක්රේනයෙන් පිටත්ව නොයන බව ඔවුන් අවධාරණය කර ඇත.
මේ අතර, MH17 යානය යුක්රේන හිතවාදී කැරලිකරුවන් විසින් අත්වැරදීමකින් එල්ල කළ මිසයිල ප්රහාරයක් හේතුවෙන් අනතුරට පත්වන්නට ඇති බව ඇමෙරිකානු විශේෂඥයන් විශ්වාස කරන අතර, එය බොහෝ විට රුසියාවේ අනුදැනුමකින් තොරව සිදුවන්නට ඇති බවද පෙන්වා දෙයි.