ටිබෙට් ජාතික ජ්‍යෙෂ්ඨ හිමිනමක් ලෙස සැලකෙන ශමාර් රින්පොචේ භික්ෂූන් වහන්සේගේ අදාහනයට රටින් පිටුවහල්ව ජීවත් වන ටිබෙට් ජාතික භික්ෂූන් දහසකට අධික පිරිසක් නේපාලය වෙත පැමිණ ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
62 වැනි වියෙහි පසු වූ ශමාර් රින්පොචේ භික්ෂූන් වහන්සේ හර්දයාබාධයක් හේතුවෙන් පසුගිය ජූලි මාසයේ ජර්මනියේදී අපවත් වූහ.
කෙසේ වෙතත්, කත්මණ්ඩු නුවර උන්වහන්සේ විසින් මෙහෙයවූ ආරාමයේදී ආදාහන කටයුතු කිරීම සඳහා ශ්‍රී දේහය ජර්මනියේ සිට නේපාලය වෙත ගෙන ඒමට නේපාල රජය මුලින් අවසරය ලබා නොදුන්නත්, පසුව ඊට අවසර ලබා දී තිබුණි.
එහිදී, පසුගිය අඟහරුවාදා ප්‍රකාශයක් කරමින් නේපාල රජය කියා සිටියේ ආදාහන කටයුතු උන්වහන්සේගේ අන්තිම කැමැත්ත පරිදි සිදු කිරීමට අවසර දීමට තීරණය කළ බවයි. එය, උන්වහන්සේ විසින් බුදු දහමට කළ මහඟු සේවය අගය කිරීමක් වශයෙන් සිදුකරන බවත් නේපාල රජය නිකුත් කළ ප්‍රකාශයේ සඳහන් විය.
ටිබෙට් දේශයේ පාලනයට බෞද්ධ නායකයින්ගෙන් තර්ජන එල්ල වන්නේ යැයි චීනය වරින් වර චෝදනා කරමින්, මෙවරද උන්වහන්සේගේ දේහය ගෙනඒම වැළැක්වීමට චීනය යම් බලපෑමක් කළ බවට විවේචන එල්ල වෙමින් තිබේ.