යතුරුපැදියේ පසුපස ආසනයේ වාඩිවී සිටි තරුණයා දෑතට ගත්තේ රූ රැජිනකි. යතුරුපැදිය පැදවූ තරුණයා වේගයෙන් ඉගිලී ගියේ ළඟම පිහිටි රෝහලක් සොයාගෙනය.
ඔවුන්ගේ එකම අරමුණ වෙනිසියුලාවේ, වැලෙන්සියා නුවරදී රාජ්‍ය විරෝධී උද්ඝෝෂණය වෙත නාඳුනන තුවක්කකරුවෙකු විසින් එල්ල කළ වෙඩි තැබීමෙන් තුවාල වූ 22 හැවිරිදි ජෙනීසිස් කාර්මෝනාගේ ජීවිතය කෙසේ හෝ බේරා ගැනීමය.
අලෙවිකරණය හදාරන ශිෂ්‍යයාවක මෙන්ම, රූ රැජිනකද වූ කාර්මෝනාගේ හිස පසාරු කරගෙන ගිය වෙඩි උණ්ඩය ඇය බිම දැමීය. අසල සිටි තරුණයෙකු මේ රූමතිය ඔසවාගෙන, තවත් සගයෙකු සමග යතුරුපැදියෙන් ආසන්නතම රෝහල වෙත පියඹා පැමිණියේ ඒ ඇසිල්ලෙන්ය.
වෛද්‍යවරු හදිසි ශල්‍ය කර්මයකට ඇය බඳුන් කළද ඇයගේ ජීවිතය බේරා ගැනීමට ඔවුන්ට කළ හැකි තවත් කිසිවක් නොවීය. පෙරේදා රාත්‍රියේ මේ සුන්දර යුවතිය සදහටම දෙනෙත් පියා ගත්තාය.
මේ වනවිට වෙනිසියුලාවේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය හිඟයකින් තොරව සැපයීම, කතා කිරීමේ නිදහස ලබාදීම, ප්‍රමාණවත් ආරක්ෂාවක් ජනතාවට සැපයීම ආදී වූ කරුණු ඉලක්ක කර ගනිමින් චාවේස්ගෙන් පසුව බලයට පැමිණි මදූරෝගේ පාලනයට එරෙහිව එරට විපක්ෂය ප්රමුඛ විරෝධතාකරුවන් වීදි බැස තිබුණත්, මේ වනතෙක් වෙනිසියුලාවට නිදහසක් ලැබී ඇති බවක් පෙනෙන්නට නැත.