ස්විට්සර්ලන්තයේ හිම කඳු අතර මීට වසර 75කට පෙර අතුරුදන් වූ යුවළකගේ යැයි සැකකෙරෙන සිරුරු එම ගැසියර දියවීමත් සමග නොබෝදා මතුවී ඇත.
වර්ෂ 1942 අගෝස්තු මාසයේදී මර්සිලීන් සහ ෆ්‍රැන්සීන් ඩුමොවුලීන් යුවළ තම ගවයන්ට තණ කැවීම සඳහා ඇල්ප්ස් කඳුකරයට ගොස් සිටියදී මෙසේ අතුරුදන් වී තිබුණි.
සත්ත්ව පාලනයෙන් දිවිගෙවූ මෙම යුවළ අතුරුදන් වන විට ඔවුන්ට දාව දරුවන් හත් දෙනෙකු සිටි අතර, එම දරුවන් තම දෙමවුපියන් සෙවීම අත් නොහැර තිබූ බවද ස්විට්සර්ලන්ත මාධ්‍ය පවසයි.
මේ වනවිට 79 වැනි වියෙහි පසුවන ඔවුන්ගේ එම බාලම දියණිය පවසන්නේ තම දෙමවුපියන්ගේ මළ සිරුරු පූර්ණ ගෞරව සහිතව භූමදාන කටයුතු කිරීමට ඔවුන් සැලසුම් කර ඇති බවයි.
එවකට මෙම යුවළ සොයා එම ගම්වාසීන් දැඩි පරිශ්‍රමයක් ගෙන තිබුණද ඔවුන් පිළිබඳ හෝඩුවාවක් නොලැබී තිබුණි.
මේ අතර, අදාළ යුවළගේ ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකරමින් මෙම මළ සිරුරු මීට වසර 75කට පෙර අතුරුදන් වූ අයගේම බවට තහවුරු කරගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටියි.

.jpg)