ලන්ඩනයේ ඔක්ස්ෆර්ඩ් සර්කස් උමං දුම්රිය පොළ අසල වෙඩි හඬක් පිළිබඳ වාර්තා වීමත් සමග වසා දැමුණු මධ්‍යම ලන්ඩනයේ උමං දුම්රිය පොළ, ඒවායෙහි ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසු යළි විවෘත කර තිබේ.
දුම්රිය පොළ වේදිකාවේ දබරයක පැටලුණු පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳ පොලීසියේ අවධානය යොමුව තිබුණත්, සිද්ධිය ඇසින් දුටුවන්ට අනුව එම අවස්ථාවේදී ගිනි අවි පාවිච්චියක් සිදුව නොතිබුණි.
කෙසේ වෙතත්, දුම්රිය පොළ තුළ මෙවැනි කලබලයක් ඇති කරමින්, මිනිසුන් හිස් ලූ ලූ අත දිවයෑමට සැලැස්වූ පුද්ගලයන් සොයා මේ වනවිට ලන්ඩන් පොලීසිය මෙහෙයුම් අරඹා තිබේ.
පොලීසියට අනුව ඔක්ස්ෆර්ඩ් සර්කස් දුම්රිය පොළ මෙම සිද්ධිය මුලදී ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සැලකුණත්, මෙය දෙදෙනෙකු අතර සිදුවූ දබරයක ප්‍රතිඵලයක් හේතුවෙන් ඇති වූ නොසන්සුන්තාවක් බව පසුව විශ්වාස කෙරිණි.
කෙසේ වෙතත්, ජිහාඩ් ත්‍රස්ත ක්‍රියා පසුගිය කාලයේ ලන්ඩනයෙන් වාර්තා වූ නිසා මේ වනවිට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති බව ලන්ඩන් බලධාරීහු පවසති.