නැගෙනහිර යුක්රේනයේ සිටින රුසියානු හිතවාදී තුවක්කුකරුවන් විසින් රඳවාගෙන සිටින යුරෝපීය ජාත්‍යන්තර නිරීක්ෂකයන් ප්‍රථම වරට මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබුණි.
ස්ලෝවියාන්ස්ක් නගරයේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක් නිරීක්ෂකයෙකු පවසා සිටියේ ඔවුන් කිසිවෙකුට අනතුරක් නොමැති බවයි.
යුරෝපීය ආරක්ෂක හා සහයෝගීතා සංවිධානයේ සාමාජික පිරිසක් වන මොවුන් තම නිදහස්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද පවසා තිබේ.
ජර්මනිය, ඩෙන්මාර්කය, පෝලන්තය, ස්වීඩනය සහ චෙක් ජනරජය යන රටවල නියෝජිත පිරිසක් මෙම කණ්ඩායමට ඇතුළත් වන අතර, ඔවුන් පසුගිය සිකුරාදා දිනයේදී මුහුණු බැඳගත් තුවක්කුකරුවන් පිරිසක් විසින් පැහැරගන්නා ලදී.
මේ අතර අද දිනය වනවිට රුසියානු හිතවාදීන් විසින් නැගෙනහිර යුක්රේනයේ පළාත් රූපවාහිනී හා ගුවන්විදුලි මධ්‍යස්ථාන දෙකක්ද අත්පත් කරගෙන ඇති බව වාර්තා වෙයි.