මියන්මාරයේ, රඛයින් පළාතේ නිරීක්ෂණයකට සූදානමින් සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන්ට ඒ සඳහා අවස්ථාව ලබා නොදීමට මියන්මාර බලධාරීන් කටයුතු කර තිබේ.
පසුගිය අගෝස්තු 25 වැනිදා මියන්මාරයේ පොලිස් ස්ථාන 30ක් ඉලක්ක කරමින් එරට රඛයින් පළාතේ රොහින්ග්‍යා ආයුධ සන්නද්ධ කණ්ඩායම් එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස මියන්මාර රජයේ හමුදාවල මෙහෙයුම්වලින් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය එම පළාත තුළට පිවිසීමට උත්සාහ කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
මෙම හමුදා ක්‍රියාමාර්ග ආරම්භ වනවිට එහි සිටි එක්සත් ජාතීන්ගේ සහන කණ්ඩායම් ඉවත්කිරීමටද මියන්මාරය කටයුතු කර තිබුණි. කෙසේ වෙතත්, මේ වනවිට රඛයින් පළාත වෙත එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ට ඇතුළු වීමට අවසර නොදීම සම්බන්ධයෙන් මියන්මාරය හේතු දැක්වීමක් කර නොමැති බවද එහි ප්‍රකාශකයෙකු පවසා සිටියේය.
මියන්මාරය රොහින්ග්‍යා ජනතාව අතුගා දැමීමක් සිදුකරන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කළ අතර, මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදීද මියන්මාරය වෙතම ඇඟිල්ල දිගු විය.
කෙසේ වෙතත්, මියන්මාරය පවසා සිටියේ තමන් කිසිම අවස්ථාවක සාමාන්‍ය වැසියන් ඉලක්ක නොකරන බවයි. මෙම හමුදාමය ක්‍රියාමාර්ගය රොහින්ග්‍යා ආයුද සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කරන්නක් බව ඔවුහු අවධාරණය කළහ.