යුරෝපයේ කොටසක් දැඩි සීත කාලගුණික තත්ත්වයකට මුහුණදි ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
දැඩි හිම කුණාටු තත්ත්වය මෙන්ම, අධික හිම පතනය හේතුවෙන් මහාමාර්ග රැසක් වසා දමා ඇති අතර, දුම්රිය ගමනාගමනයද ඇණහිට ඇති බව කියැවෙයි. එමෙන්ම, පාසල් රැසක් වසා දමා බොහෝ ගුවන්ගමන් අවලංගු කර ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එමෙන්ම, මින් පෙර නොවූවිරූ ආකාරයේ දැඩි සීතලක්ද දකුණුදිග මධ්‍යධරණී මුහුදු කලාපය දක්වාම පවතින බවද සඳහන් වෙයි.
මේ අතර, මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට ජීවිත 55ක් පමණ අහිමි වී තිබේ.
ඒ අතරින් 21ක්ම පෝලන්තයෙන් වාර්තා වී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වැඩිපුරම බැට කන්නේ දුප්පතුන්, නිවාස නොමැති පිරිස් සහ සරණාගතයන් බවයි.
විශේෂයෙන්ම වයස්ගත පුද්ගලයන්ට සහ කුඩා දරුවන්ට මෙන්ම විවිධ ශාරීරික හා මානසික රෝගාබාධයන්ගෙන් පෙළෙන්නන්ටද මෙම කාලගුණික තත්ත්වය දරාගත නොහැකි බව එම සංවිධානය පවසයි.
ස්විස්ටර්ලන්තයේ ජිනීවා ගුවන් තොටුපොළ වසා දමා ඇති අතර, නෙදර්ලන්තයේ ෂිපෝල් ගුවන් තොටුපොළෙහිද ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබේ.
මේ අතර, ප්‍රංශයේ මහාමාර්ගවල වාහන 2,000ක් පමණ හිරවී ඇති බවත්, ඇතැම් වාහන පැය 24කට වැඩි කාලයක් මීට මුහුණදී ඇති බවත් කියැවෙයි.
ලන්ඩන්, පැරිස් සහ බ්‍රසල්ස් අතර දුම්රිය ගමන් මෙහෙයවන යූරෝස්ටාර් දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කිරීමටද සිදුව තිබේ.