දකුණු කොරියාවට පලාගිය සෙබළා ලුහුබැඳයාමේදී උතුරු කොරියාව සටන් විරාම ගිවිසුම කඩකර ඇති බව එක්සත් ජාතීන්ගේ හමුදා පවසයි.
දකුණු කොරියාවේ සිටින එක්සත් ජාතීන්ගේ හමුදා කණ්ඩායම් මෙම අනාවරණය කරන්නේ මෙම සෙබලා පළා යන සී.සී.ටී.වී. දසුන් ඇසුරු කර ගනිමිනි.
එහිදී, ජීප් රථයක නැගගත් මෙම සෙබලා දේශසීමා වෙත වේගයෙන් පැමිණෙන ආකාරයත්, එම ජීප් රථය ඉලක්ක කරමින් හා පසුව ඉන් බැස දුවන සෙබලා හඹා යමින් උතුරු කොරියානු දේශසීමා ආරක්ෂකයන් සිව් දෙනෙකු ඔහුට දිගට හරහට වෙඩි තබන ආකාරයත් එම වීඩියෝ දසුන්වල දැකිය හැකිය.
දේශසීමාවේ කි.මී.250ක් දිගින් යුතු යුද මුක්ත කලාපය දෙරටේ හමුදා එකිනෙකා සමීපයේ සිටින කලාපය වන අතර, මෙය දකුණු කොරියානු සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් කලාපයක්ද වෙයි.
ඒ අනුව, උතුරු කොරියානු ආරක්ෂකයන් මෙම දේශසීමාව හරහා වෙඩි තැබීමකින් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කර ඇති බව පැහැදිලි වන්නේ යැයි එක්සත් ජාතීන්ගේ හමුදා අවධාරණය කරයි.
කෙසේ වෙතත්, වෙඩි ප්රහාරයට ලක්ව සිටි මෙම සෙබලා පසුව දකුණු කොරියානු ආරක්ෂකයන් විසින් ආරක්ෂිතව තම සීමාවට ගෙන වහා රෝහල් ගත කරන අතර, මේ වනවිට ඔහුගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.