සෝමාලියාවේ මොගඩිෂු අගනුවර අල්-ෂබාබ් ත්රස්තයන් එල්ල කළ කාර් බෝම්බ ප්‍රහාර හා වෙඩි තැබීම් හේතුවෙන් ජීවිත 10ක් අහිමි වී තිබේ.
අගනුවර පිහිටි දයාහ් හෝටලය ඉලක්ක කරමින් එල්ල වූ මෙම ප්‍රහාරයෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර, එරට පාර්ලිමේන්තු සාමාජිකයන් පිරිසක්ද එම අවස්ථාවේදී හෝටලයේ රැඳී සිටි බව විශ්වාස කෙරෙයි.
සෝමාලි ආරක්ෂක අමාත්‍ය ඔමාර් මොහොමඩ් පවසන්නේ ප්‍රහාරයට පැමිණි ත්රස්තයන් හතර දෙනෙකු ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කළ බවයි.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ පුපුරණ ද්‍රව්‍ය පුරවාගත් රථයක් හෝටලය වෙත කඩා වැදීමත් පළමු පිපිරීම සිදුවූ බවයි. ඉන් අනතුරුව වෙඩි හුවමාරුවක්ද සිදුව තිබේ. එම පළමු පිපිරීමෙන් විනාඩි කිහිපයකට පසුව තවත් බෝම්බ පුපුරුවාගත් රථයක් පුපුරාගොස් ඇති අතර, පළමු පිපිරීම බැලීමට පැමිණි පිරිස් ඊට ගොදුරු වූ බවද සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
මෙම ප්‍රහාරය පාලනය කිරීම සඳහා සෝමාලි ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් ගත් බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.