සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ වෙත බලයෙන් ඉවත්වන ලෙස ඉල්ලා එරට හරාරේ අගනුවර දහස් ගණන් ජනයාගේ සහභාගීත්වයෙන් පෙළපාලියක් සංවිධානය වෙමින් පවතී.
පසුගිය බදාදා දිනයේදී සිම්බාබ්වේ පාලනය සියතට ගත් එරට හමුදාව විසින් මෙම දැවැන්ත රැලියට සහයෝගය දක්වන බව විදෙස් වාර්තා පවසයි.
ජනපති මුගාබේ නියෝජනය කරන සානු පී.එෆ් පක්ෂයේ ප්‍රාදේශීය බල මණ්ඩල මෙන්ම, එරට යුද විරුවන් පවා මුගාබේ ඉවත්විය යුතු බව තරයේ කියා සිටිති. ඔවුන් පසුගිය වසර වනතුරුම මුගාබේ වෙත දැඩි පක්ෂපාතීත්වයක් දැක්වූ පිරිස් වීමද විශේෂත්වයකි.
93 වැනි වියේ පසුවන මුගාබේ පසුගිය දින කිහිපය නිවාස අඩස්සියේ රඳවා තබා ගැනුණද, සිකුරාදා දිනයේදී ඔහු අගනුවර පැවති උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වෙමින් යළි මහජනතාව හමුවේ පෙනී සිටියේය.
කෙසේ වෙතත්, සිම්බාබ්වේ උප ජනාධිපතිවරයාව සිටි එමර්සන් නන්ගාවා බලයෙන් පහ කරමින් සිය බිරිඳ වන ග්‍රේස් මුගාබේ බලයට ගෙනඒම සඳහා වත්මන් ජනපතිවරයා ගෙනගිය ක්‍රියාමාර්ගය මේ ආකාරයෙන් බල තුලනය හමුදා බලයෙන් වෙනස් කිරීමට හේතු පාදක විය.
මේ අතර එරට හමුදාවද කියා සිටියේ තමන් මුගාබේ සමග සාකච්ඡා කරමින් සිටින බවත්, හැකි ඉක්මණින්ම යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටින බවත්ය.
වර්ෂ 1980 දී සිම්බාබ්වේ දේශය මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු මේ දක්වා එරට පාලන බලය රොබට් මුගාබේ විසින් ඉසිලීය.