37 වසරක පාලනයෙන් ඉවත්වීමට සිම්බාබ්වේ ජනපති රොබට් මුගාබේ තීරණය කිරීමත් සමග එරට නගර පුරා ජනතාව වීදිබැස ජයඝෝෂා පවත්වන බව විදෙස් වාර්තා පවසයි.
සිම්බාබ්වේ පාර්ලිමේන්තුවේ කතානායකවරයා විසින් ජනාධිපතිවරයා විසින් එවනු ලැබූ ලිපියක් කියවමින් ඔහුගේ මෙම තීරණය රටට හා ව්‍යවස්ථාදායකය වෙත දැනුම් දෙන ලදී.
ඉල්ලා අස්වීම තමන් ස්වෙච්ඡාවෙන් ගත් තීරණයක් බවත්, එය සුමට බල හුවමාරුවක් සඳහා අවශ්‍ය මාවත හෙළි පෙහෙළි කිරීමක් බවත් ජනාධිපතිවරයා පවසා තිබුණි.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ මෙම තීරණයත් සමග ඔහුට එරෙහිව එරට පාර්ලිමේන්තුවට ගෙනඑමින් තිබූ විශ්වාසභංගය අත්හිටවුණි.
වර්ෂ 1980 සිට බලයේ රැඳී සිටින මුගාබේගෙන් පසුව එරට ජනාධිපතිධුරය වෙත හිටපු උප ජනාධිපති එමර්සන් මනන්ගාග්වා පත්වනු ඇති බව එරට පාලක සානු-පීඑෆ් පක්ෂය පවසයි.
සිම්බාබ්වේ දේශය තුළ දේශපාලන ව්යවුල් තත්ත්වයක් ඇති කරමින් මෙම මස මුලදී උප ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමට මුගාබේ කටයුතු කළ අතර, මෙය සිය බිරිඳ වූ ග්‍රේස් මුගාබේ බලයට ගෙනඒම සඳහා මුගාබේ විසින් ගනුලැබූ අදූරදර්ශී ක්‍රියාවක් ලෙස දේශපාලන විචාරකයෝ පෙන්වා දුන්හ.
කෙසේ වෙතත්, මුගාබේ ඉල්ලා අස්වන බවට වන ප්‍රකාශය පාර්ලිමේන්තුව තුළ කතානායකවරයා විසින් ප්‍රසිද්ධ කරන අවස්ථාවේදී එහි සිටි මන්ත්‍රීවරු පවා ප්‍රීතිඝෝෂා නැගූ බව සඳහන් වෙයි.
ලොව වයස්ගතම නායකයා ලෙස බලයේ සිටි මුගාබේ සිය ධුරයෙන් ඉල්ලා අස්වන විට 93 වැනි වියෙහි පසුවිය.
පසුගිය සතියේදී රටේ පාලන බලය එරට හමුදාව විසින් අත්පත් කරගැනීමත්, රට පුරා ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස සිදුකළ උද්ඝෝෂණ මාලාවත් හමුවේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කළ මුගාබේට අවසානයේදී සිය අවසන් තීරණය ගැනීමට සිදුවිය.
එරට ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ ඉවත්වීමෙන් පසුව එරට උප ජනාධිපතිවරයාට බලය හිමිවන අතර, මේ වනවිට උප ජනාධිපතිධුරය හොබවනු ලබන්නේ ග්‍රේස් මුගාබේගේ හිතෛෂියෙකු වන ෆෙලේකෙසේලා මෆෝකෝ විසිනි.
නමුත්, සානු-පීඑෆ් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන ලොව්මෝ මටූකේ රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ ඉදිරි පැය 48ක කාලය තුළ මනන්ගාග්වා එරට ජනපති පුටුවට ගෙනඒමේ කටයුතු සිදුවන බවයි.