මියගිය බිරිඳගේ දේහය නිවසට රැගෙන යාමට රෝහලෙන් ගිලන් රියක් නොලැබුණු දුගී ඉන්දියානුවෙක්, කුලී රථයකට මුදල් නොමැති නිසා කි.මී.12ක් තම කර මතින් මිනිය රැගෙන ගිය අනුවේදනීය පුවතක් වාර්තා වෙයි.
ක්ෂය රෝගය වැළඳීම නිසා එදින උදෑසන ඔරිස්සා ප්‍රාන්තයේ රෝහලකට ඇතුලත් කර තිබූ 42 හැවිරිදි අමාන්ගි මාජි නමැති ඒ කාන්තාව එදින රාත්‍රියේ රෝහලේදීම ජීවිතක්ෂයට පත්ව තිබුණි.
ඒ අනුව, දේහය බාරගැනීමට රෝහල වෙත පැමිණි සැමියා කි.මී.60ක් පමණ දුරින් වූ නිවසට මිනිය රැගෙන යාම සඳහා රෝහල් බලධාරීන්ගෙන් ගිලන් රියක් ඉල්ලා ඇත්තේ ඒ සඳහා කුලී වාහනයක් ලබාගැනීමට තමා අත මුදල නොමැති බව පවසමිනි.
කෙසේ වෙතත්, ඔහුට එහිදී රෝහල් බලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති අතර, හැකි ඉක්මණින් මිනිය ඉවත්කර ගන්නා ලෙස දැන්වූ නිසා තම කර මතින් කෙසේ හෝ මිනිය නිවෙස වෙත රැගෙන යාමට ඔහු අධිඨන් කරගෙන තිබේ.
ඒ අනුව, බිරිඳගේ මිනිය රෙදි කඩකින් ඔතාගත් ඔහු සිය 12 හැවිරිදි දියණියද සමග බිරිඳගේ මිනිය කර මතින් රැගෙන කි.මි.12ක පමණ දුරක් ගමන් කර තිබුණි. ඒ අවස්ථාවේදී, මහමග ගිය පිරිස් මේ සිදුවීම දැක සංවේගයට පත්ව වහා ගිලන් රථයක් ගෙන්වා එම දේහය ඔහුගේ නිවෙස වෙත රැගෙන යාමට අවශ්‍ය පහසුකම් සපයා තිබුණි.
මේ සම්බන්ධයෙන් අදාළ රෝහලෙන් විමසීමේදී ඔවුන් පවසා ඇත්තේ මෙම සැමියා රෝහල් කාර්ය මණ්ඩලයට නොදන්වා එම දේහය රැගෙන ගොස් ඇති බවක්ය. කෙසේ වෙතත්, එය ප්‍රතික්ෂේප කරන මියගිය කාන්තාවගේ සැමියා පවසන්නේ, තමාගේ ඉල්ලීම රෝහල් බලධාරීන් කිසිසේත්ම ඉෂ්ඨ නොකරන බව වැටහුණු නිසා තම කර මතින් දේහය රැගෙන යාමට කටයුතු කළ බවය.