පැපුවා නිව්ගිනි රාජ්‍යයේ මානූස් දූපත් හි සරණාගත කඳවුර නිල වශයෙන් වසා දැමීමත් සමග කඳවුර අත්හැර යෑම ප්‍රතික්ෂේප කරන සංක්‍රමණිකයන් ජලය සොයා කඳවුරු භූමියේ ලිං කණිමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
මේ වනවිට මෙම කඳවුරේ 600ක් පමණ වූ පිරිසක් රැඳී සිටින අතර, ඔවුන් පවසන්නේ කඳවුරු භූමියෙන් පිටතට ගිය විට තමන්ට ප්රහාරයන්ට ලක්වීමට සිදුවනු ඇති බවයි.
කෙසේ වෙතත්, මෙහි සිටින සංක්‍රමණිකයන්ගෙන් 150ක් නවසීලන්තය භාරගැනීමට කැමැත්ත ප්‍රකාශ කළත් කඳවුර ආරම්භ කළ ඔස්ට්‍රේලියාව එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කරයි.
බෝට්ටු මගින් පැමිණි මෙම සරණාගතයන්ට ඔස්ට්‍රේලියාවේ හෝ නවසීලන්තයේ සරණාගතභාවය ලබාදෙනු ලැබුවහොත්, එය මෙසේ ජීවිත අවදානමක් සමග පැමිණෙන සංක්‍රමණිකයන් දිරිගන්වන ක්‍රියාවක් බව පවසමින් ඔස්ට්‍රේලියාව මෙම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබේ.
මේ ආකාරයෙන් බෝට්ටු මගින් පැමිණෙන සංක්‍රමණිකයන් ඔස්ට්‍රේලියාව විසින් රඳවනු ලැබුවේ පැපුවා නිවිගිනි දේශයට අයත් මානුස් දූපතේ සහ තවත් පැසිෆික් සාගර කලාපීය දුපතක් වන නාවුරු දූපතේය.
මෙම මානුස් රැඳවුම් කඳවුර ව්‍යවස්ථාවට අනුකුල නොවන බව පැපුවා නිව්ගිනි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමත් සමග අඟහරුවාදා (31දා) ඔස්ට්‍රේලියාව ඉන් ඉවත්විය.
ඒ අනුව, පැපුවා නිව්ගිනි හි දැනට සිටින පුද්ගලයින්ට දැන් ජලය, විදුලිය මෙන්ම සුදුසු වැසිකිළි පහසුකම් නොමැති අතර, ඔවුන්ට ආහාරද ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.
ඔවුන් වෙනුවෙන් විකල්ප නවාතැන් පහසුකම් තවමත් සුදානම් නැති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ආයතනය පවසයි.