ඉන්දීය පාලනය යටතේ පවතින කාෂ්මීරයේ හටගෙන ඇති දරුණු ගංවතුර තත්ත්වය සමග විශාල පිරිසක් රැගත් බස් රථයක් දොරුවකට ගසාගෙන යෑමෙන් එහි ගමන්ගත් වැඩි දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
මෙම බස් රථය තුළ පුද්ගලයන් 50 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර, ඔවුන් විවාහ මංගල උත්සවයකට සහභාගි වීම සඳහා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
බස් රථයේ ගමන් කළ පිරිස අතර මනාලයා හා මනාලියද සිට ඇති බවත් කාෂ්මීර බලධාරීන් පවසයි.
ජම්මු කලාපයේ, රජොවුරි දිස්ත්රික්කයේදී මෙම අනතුර සිදුව ඇති අතර, හමුදා යොදවා මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකළද බේරාගැනීමට හැකිවී තිබෙන්නේ පුද්ගලයන් හතර දෙනෙකු පමණක් බව කියැවෙයි.
වසර 22කින් පසුව මෙම කලාපය දරුණුතම ගංවතුර තත්ත්වයෙන් පීඩා විඳින අතර, පසුගිය දින කිහිපයේදී ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගල ජීවිත 20ක් පමණ අහිමි විය.