වඩාත් පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රමවේදයකට පියවර තබමින් ආණ්ඩුවේ ප්‍රවාහන කටයුතු සහ ටැක්සි සේවාවන් සඳහා විදුලිබලයෙන් ක්‍රියාත්මක මෝටර් රථ ලබාගැනීමේ ගිවිසුමකට භූතාන රජයත් සහ ජපානයේ නිසාන් මෝටර් රථ සමාගම අත්සන් තැබූ බව වාර්තා වෙයි.
භූතාන රජය සමග ක්‍රියාත්මක මෙම ගිවිසුමට අනුව නිසාන් සමාගමේ 'ලීෆ්'(Leaf)මෝටර් රථ මෙන්ම, එම රථවලට විදුලිබලය ලබාදීමේ මධ්‍යස්තාන රට පුරාම ස්ථාපිත කිරීමටද නිසාන් මෝටර් රථ සමාගම කටයුතු කරනු ඇති බව පැවසෙයි.
දැනට භූතානය රටේ විදුලිබල අවශ්‍යතාව වෙනුවෙන් වැඩි වශයෙන් යොදා ගන්නේ ජල විදුලියයි. නමුත්, එරට මහාමාර්ගවල ධාවනය වන සියලුම මෝටර් රථ පෙට්ට්‍රල් හා ඩීසල් ඉන්ධන භාවිත වන මෝටර් රථ බව කියැවෙයි.
මේ තත්ත්වය තුළ වඩාත් පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුමකට යෑම භූතාන රජයේ අපේක්ෂාව විය. ඒ අනුව, පරිසරයට මුදා හැරෙන කාබන් ඩයොක්සයිඩ් වායුව අවම කිරීමේ රජයේ උත්සාහයට මෙම ගිවිසුම හරහා ප්‍රබල පිටිවහලක් ලැබෙන බව භූතාන බලධාරීහු පවසති.