උතුරු අප්රිකාවේ සිට බෝට්ටු මගින් ඉතාලියට ඇතුළු වීමට ගිය අනවසර සංක්රමණිකයන් 19 දෙනෙකු හුස්ම හිරවීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
ඔවුන් ගමන් කළ බෝට්ටුවට දරාගත නොහැකි තරමට පිරිසක් එහි ගමන් කර ඇති අතර, බෝට්ටුවේ පහළ තට්ටුවේ ගමන් කළ පිරිසට එහි පැරණි එන්ජිමෙන් නිකුත් වූ දුම දරාගත නොහැකිව මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව කියැවෙයි.
ඉතාලියේ අන්සා පුවත් සේවය පෙන්වා දෙන පරිදි මුදාගැනීමේ කණ්ඩායම් එම බෝට්ටුව වෙත ළඟාවන විට මළ සිරුරු 18ක් හමුවී ඇති අතර, අනෙක් පුද්ගලයා පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
එමෙන්ම මෙම බෝට්ටුව තුළ පුද්ගලයන් 600ක් පමණ සිටි බවත් ඔවුන් පවසයි.
උතුරු අප්රිකානු කලාපයෙන් පැමිණෙන අනවසර සංක්රමණිකයන් පාලනය කිරීමේ දැවැන්ත අර්බුදයකට මේ වනවිට ඉතාලිය මුහුණ දෙමින් සිටින අතර, වරින් වර මෙවැනි ඛේදජනක සිදුවීම් වාර්තා වෙයි.