මැන්චෙස්ටර් ප්‍රහාරය ISIS භාරගනී - ජීවිත හානි 22ක්
(UPDATE) තරුණ ජීවිත 22කට මරු කැඳවමින්, තවත් 59 දෙනෙකුට තුවාල සිදුකළ මැන්චෙස්ටර් නුවර ම්ලේච්ඡ මරාගෙන මැරෙන ප්‍රහාරයේ වගකීම ඉස්ලාම් රාජ්‍යයේ IS ත්රස්තයන් විසින් භාරගෙන තිබේ.
තම ඉස්ලාම් රාජ්‍යයේ සොල්දාදුවෙක් මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කළ බව IS ත්රස්තයන්ගේ සමාජජාල අඩවි සඳහන් කරමින් තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවටද අනතුරු ඇඟවීම් සිදුකර ඇති බවත්, එම සංවිධානයේ පුවත් ජාලය ලෙස සැලකෙන අමාඛ් විසින්ද මෙය තම සොල්දාදුවෙකුගේ ප්‍රහාරයක් ලෙස එහි වගකීම භාරගෙන ඇති බවත් ප්‍රංශ පුවත් සේවය පවසයි.
ජීවිත 22ක් බිලිගනිමින්, තවත් 59 දෙනෙකුට තුවාල සිදුකරමින් මැන්චෙස්ටර් නුවර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ඉතා බියගුලු හා පිළිකුල් සහගත ත්‍රස්ත ප්‍රහාරයක් බව බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ පවසයි.
එංගලන්තයේ, මැන්චෙස්ටර් නුවර, මැන්චෙස්ටර් අරීනා හි පැවති ඇමෙරිකානු ගායිකා අරියානා ග්‍රැන්ඩේ සහභාගී වූ පොප් සංගීත ප්‍රසංගයක් අවසන් වීමත් සමග එම ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ප්‍රවේශ කලාපය ආසන්නයේදී මෙම මරාගෙන මැරෙන බෝම්බකරු සිය බෝම්බය පුපුරුවාගෙන තිබේ.
ඩවුනින් වීදියේ අගමැති නිල නිවස ඉදිරිපිටදී මාධ්‍ය අමතමින් තෙරේසා මේ පවසා සිටියේ ආරක්ෂක අංශ විසින් මේ වනවිට ප්‍රහාරකයා හඳුනාගෙන තිබුණත්, එය තවදුරටත් තහවුරු කරන තුරු ප්‍රකාශ නොකරන බවයි.
"මේ වනවිට සැකයකින් තොරව මැන්චෙස්ටර් ජනතාව මෙන්ම රටේ සමස්ත ජනතාව අනුකම්පා විරහිත ත්‍රස්ත ප්‍රහාරයකට ගොදුරුව ඇති බව පැහැදිලියි. ඔවුන් ඉලක්ක කර ඇත්තේ නිරායුධ තරුණ තරුණියන් පිරිසක්" යැයි අගමැතිනිය පවසා සිටියාය.
ඇමෙරිකානු ආරක්ෂක අංශ වාර්තා උපුටා දක්වමින් මෙම ප්‍රහාරකයා පොදු ප්‍රවාහන සේවයක නැගී තම ඉලක්කය වෙත පැමිණ ඇති බව සනාථ වී ඇති අතර, ඔහු එම ස්ථානය කර පැමිණෙන සී.සී.ටී.වී. දසුන් පවා සනාථ කරගෙන තිබේ. මේ අතර, බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ විසින් දකුණු මැන්චෙස්ටර් හි චොර්ල්ටන් හිදී 23 හැවිරිදි තරුණයෙකු මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට ගොදුරු වූ නිරායුධ තරුණ තරුණියන්ගේ නම් ප්‍රසිද්ධ කරමින් 18 හැවිරිදි ශිෂ්‍යාවක වන ජෝර්ජියානා කොලැන්ඩර්ගේ නම මුලින්ම වාර්තා වූ අතර, ඇය ලැන්කැෂර් හි රන්ෂොව් විද්‍යාලයෙහි ඉගෙනුම ලැබූවෙකු බව අනාවරණය කරගෙන තිබේ.
බෝම්බ ප්‍රහාරයෙන් දිවි අහිමි වූ ජෝර්ජියානා සහ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවක්
එම ගෘහස්ථ ක්‍රීඩාගාරයේ සංගීත ප්‍රසංගය පැවැත්වූ 23 හැවිරිදි අරියානා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, තම හදවත පතුලෙන්ම බිඳී ඇති බවත්, කතා කිරීමට වචන නොමැති බවත් කියා තිබුණි.
මේ අතර, තම සමීපතමයන් මෙම ප්‍රහාරයට ගොදුරුව සිටින්නේද සොයා බැලීමට බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ තොරතරු හුවමාරු කරගනිමින් සිටින බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
(07.50 AM) එංගලන්තයේ මැන්චෙස්ටර්හි 'මැන්චෙස්ටර් අරීනා' ගෘහස්ථ ක්‍රීඩාංගනයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඇමෙරිකානු ගායිකාවන වන අරියානා ග්‍රෑන්ඩ් සහභාගී වූ සංගීත ප්‍රසංගයක් අවසානයේදී විශාල පිපිරුමක් සමග ගෘහස්ත ක්‍රීඩාංගණය තුළ සිටි පිරිස් ලේ වැගිරුණු සිරුරු සමග මර බියෙන් කෑ ගසමින් දිවගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
පොලීසිය විශ්වාස කරන පරිදි සංගීත ප්‍රසංගය අවසන් වීමත් සමග පැමිණි දහසකුත් තරුණ තරුණියන් ඉලක්ක කරමින් ප්‍රවේශ කාර්යාලය ආසන්නයේ සිට මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කර ඇත. ඒ වනවිට බ්‍රිතාන්‍ය ගිම්හාන වේලාවෙන් රාත්‍රී 10.35 පසුවූවා පමණි.
ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින් භාරගෙන නොතිබුණද, පොලීස් පරීක්ෂණ හා සිද්ධිය වූ ස්වභාවය අනුව මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බව අගමැතිනී තෙරේසා මේ පවසා සිටියාය. එමෙන්ම, පසුගිය කාලය පුරාවට යුරෝපා රටවල් ඉලක්ක කරමින් එල්ල වූ ඉස්ලාමී ත්‍රස්ත ප්‍රහාර මාලාවේ තවත් දිගුවක් ලෙස මෙය සැලකිය හැකි බවද විශ්ලේෂකයෝ පවසති.
මෙම ම්ලේච්ඡ ප්‍රහාරයත් සමග බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ සිය මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයද තාවකාලිකව නවතා දමා ඇති අතර, බ්‍රිතාන්‍යයේ ඉහළ පෙළේ ආරක්ෂක අංශ නියෝජනය කෙරෙන කෝබ්රා කමිටු රැස්වීම කැඳවා ඇති බව වාර්තා වෙයි.
මෙම මහා පිපිරුමත් සමග යකඩ කැබලි විසිවී ගිය බවත්, මේ සමගම ශාලාව තුළ සිටි දහසකුත් පිරිස සී සී කඩ විසිරී ගිය බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසති. ආසන 21,000කින් යුතු මෙම ශාලාව තුළ සිටි කුඩා දරුවන් ආසන යට රිංගමින් තම ජීවිත බේරාගැනීමේ ඛේදනීය ඉරණමකට ලක්ව සිටි බවද ඔවුහු පවසති.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකානු ආරක්ෂක අංශ සිදුකළ අනාවරණයට අනුව එය ඉස්ලාමීය අන්තවාදීන් විසින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයක් විය හැකි බව පැවසෙයි.
මැන්චෙස්ටර් මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසුව ඉස්ලාම් රාජ්‍යයේ IS හිතවාදීන් සිය සතුට ප්‍රකාශ කිරීමේ පණිවුඩ සමාජජාල ඔස්සේ ප්‍රචාරය කරමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. එහිදී, ට්විටර් හරහා අබ්දුල් හඛ් නැමැත්තෙකු විසින් ප්‍රචාරය කළ පණිවුඩයක 'බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව මොසුල් හා රක්ඛා නගරවල දරුවන් මතට හෙලන බෝම්බ මේ මොහොතේ මැන්චෙස්ටර් වෙත පතිත වෙමින් තිබෙනවා' යනුවෙන් සඳහන්ව තිබූ බවද කියැවෙයි.
මේ අතර, ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ප්‍රවේශ කාර්යාලය දෙසින් පිපිරීම් දෙකක් ඇසී ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.
මෙම සිදුවීමට ආසන්න මැන්චෙස්ටර් වික්ටෝරියා දුම්රිය ස්ථානය වසා දමා ඇති අතර, සියලු උමං දුම්රිය ගමනාගමන අවලංගු කර ඇති බවද බ්‍රිතාන්‍ය වාර්තා පවසයි.
මැන්චෙස්ටර් පොලිසිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ සිද්ධිය වූ ප්‍රදේශයෙන් ඈත්ව සිටින ලෙසයි.
සංගීත ප්‍රසංගය නැරඹීමට ගොස් සිටි තම බිරිඳ සහ දියණිය රැගෙන ඒමට ගිය ඇන්ඩි හෝලි පවසා තිබුණේ, තමන් ඒ පිපිරීමත් සමග අඩි 20ක් 30ක් පසුපසට විසිවීගිය බවයි.
මෙම ම්ලේච්ඡ ප්‍රහාරයත් සමග ත්‍රස්ත මර්ධන ඒකක කැඳවා තිබූ අතර, ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටි ආකාරය විදෙස් වාර්තාවල පළ විය.

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

