බහුභාර්යා සේවනය නීතිගත කරන පනත බලාත්මක කරමින් කෙන්යා ජනාධිපති උහුරු කෙන්ට්ටා ඊට අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.
මෙම නව නීති කෙටුම්පත සමග සිවිල් නීතියේ සඳහන් පරිදි එක් පුරුෂයෙකුට එක් භාර්යාවක් යන්නෙන් ඔබ්බට ගොස්, ඇතැම් සංස්කෘතීන් අනුව යමින් බහුභාර්යා සේවනයටද කෙන්යානු ජාතිකයන්ට අවස්ථාව ලැබී තිබේ.
මෙම පනතට සංශෝධන එකතු කරන විට විවිධ මත ගැටුම් පාර්ලිමේන්තුව තුළ පැන නැගී ඇති අතර, පාර්ලිමේන්තුවේ පුරුෂ පක්ෂය එක හඬින් බහුභාර්යා සේවනය අනුමත කරමින් විවාද කර ඇත.
එහිදී, පාර්ලිමේන්තුවේ කාන්තා පාර්ශ්වය මේ සම්බන්ධ ඡන්ද විමසීම්වලදී ඉන් ඉවත්ව ගොස් ඇත්තේද පුරුෂ පක්ෂය බහුභාර්යා සේවනය අනුමත කරමින් ඡන්දය පාවිච්චි කිරීමට වැඩි උනන්දුවක් දක්වා ඇති නිසාය.
එහිදී, කාන්තා නියෝජනය පෙන්වාදී ඇත්තේ තවත් භාර්යාවක් ගැනීම තුළ එය සමස්ත පවුල වෙතම බලපාන බවය. එමෙනම්, පවුලේ ආර්ථිකයද යහපත් නොවන බව ඔවුන් පවසා ඇත.
කෙසේ වෙතත් මේ තර්ක විතර්ක සියල්ල මැද අවසානයේදී පනත සම්මත වෙමින්, එය ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් විය.
ඒ අනුව, අවසානයේදී කෙන්යානු ජනාධිපතිවරයාද බහුභාර්යා විවාහ වෙනුවෙන් වූ පනත සඳහා සිය අත්සන යොදා එය බලාත්මක කර ඇත්තේ ඔහුද ඊට අකැමැති නැති බව නොකියා කියාය.