ජනමත විචාරණ ප්රචාරක ව්‍යාපාරයේදී බ්‍රිතාන්‍යයේ ප්‍රධාන දේශපාලන පක්ෂ තුන පොරොන්දු වූ ආකාරයට ස්කොට්ලන්තයට පමණක් නොව, එංගලන්තය, වේල්සය හා උතුරු අයර්ලන්තයට තවදුරටත් බලය විමධ්‍යගත කරන බවට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පවසා සිටියේය.
ස්කොට්ලන්ත ජනමත විචාරණයෙන් ස්කොට්ලන්තය දිගටම එක්සත් රාජධානියේ කොටසක් ලෙසින්ම පැවතිය යුතු බවට අද (19දා) එරට ජනතාව තීරණය කිරීමෙන් පසු බ්‍රිතාන්‍ය අගමැතිවරයා මෙසේ අදහස් දැක්වීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩේවිඩ් කැමරන්, සිය රටට අදාළ නොවන කටයුතු වෙනුවෙන් ඡන්දය භාවිත කිරීමට ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට මින් ඉදිරියට අවසර නොලැබෙන බවද අවධාරණය කළේය.
එනමුදු, ස්කොට්ලන්තයට නිදහස ලබාදීම පිළිබඳ විවාදය ඉදිරි පරම්පරා ගණනාවකට මතු වනු නැති බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පැවසීය.
ස්කොට්ලන්තය ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය යුතු බව ඡන්දය ප්‍රකාශ කළ පිරිසෙන් 45% ක් (YES කණ්ඩායම) අනුමත කොට තිබුණත්, 55% කට (NO කණ්ඩායම) ආසන්න ඡන්දදායකයන් එය ප්‍රතික්ෂේප කොට තිබුණි.
එමෙන්ම, ස්කොට්ලන්තවාසීන්ගෙන් 85% ක් ජනමත විචාරණයේදී සිය ඡන්දය භාවිත කොට තිබූ අතර එය වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් බවද කියැවෙයි.
“අනවශ්‍ය බෙදීමකට වඩා එක්සත්ව සිටිමින් සාධනීය සංශෝධන සිදුකළ යුතු බව ඡන්දදායකයන් තීරණය කොට ඇතැයි වෙන්වීමට එරෙහි ව්‍යාපාරයේ (NO කණ්ඩායම) ප්‍රධානියා වූ අමාත්‍ය ඇලිස්ටර් ඩාලින් ප්‍රතිඵලය පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේය.