පැරිස් නුවර පිහිටි ලූවර් කෞතුකාගාරය අසලට අල්ලාහු අක්බර් කියා කෑමොර දෙමින් පැමිණි පසු පොලිස් වෙඩි පහරින් බරපතල තුවාල ලැබූ තැනැත්තා ඊජිප්තු ජාතිකයෙකු ලෙස හඳුනාගෙ තිබේ.
ඊයේ සිදුවූ මෙම සිදුවීමේදී එම කෞතුකාගාරයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා මෙම තැනැත්තාට වෙඩි තබා තිබුණි.
මොහු පසුගිය මාසයේදී ඩුබායි සිට පැරීසිය වෙත පැමිණ ඇත්තේ සංචාරක වීසාවකින් වන අතර, ඔහු 29 හැවිරිදි තරුණයෙකු බවත් සඳහන් වෙයි.
ඒ අනුව මෙම තැනැත්තා හුදකලා වෘක්කයෙකු ලෙස ක්රියාකළේද නැත්නම් වෙනත් අයෙකුගේ හෝ ත්‍රස්ත සංවිධානයක පෙළඹවීම මත මෙම ප්‍රහාරය දියත් කළේද යන්න පිළිබඳව මේ වනවිට පොලිස් පරීක්ෂණ සිදුවෙයි.
ලූවර් යනු ලොව විශාලතම කෞතුකාගාරය වන අතර, එය පැරිස් නුවර පිහිටි ඓතිහාසික ස්මාරකයකි. මෙම ප්‍රහාරකයා කෞතුකාගාරය අසල පිහිටි භූගත සාප්පු සංකීර්ණයකට ඇතුළුවීමට උත්සාහ කළ බව පොලීසිය විශ්වාස කරන අතර, ඔහු වැළැක්වීමට යාමේදී පොලිස් නිලධාරියෙකුද සුළු තුවාල ලබා තිබුණි.
කෙසේ වෙතත්, පොලිස් වෙඩි පහරින් බරපතල තුවාල ලැබූ මොහු සතුව බෑගයක් තිබූ නමුත් එහි කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හමුවී නොතිබුණි.
මෙම ප්‍රහාරයත් සමග පැරීසියේ ආරක්ෂාව තවදුරටත් තරකර ඇති අතර, ප්‍රහාරය සිදුවන අවස්ථාවේ කෞතුකාගාරය තුළ සිටි සිය ගණනක් නරඹන්නන් ආරක්ෂිතව ඉන් පිටතට ගෙන තිබූ බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.