පවුලේ විරෝධය මැද තමන් කැමති ස්වාමියෙකු සමග විවාහ වීමේ සිද්ධියෙන්කෝපයට පත් පවුලේ සාමාජිකයන් විසින්ම ගල් ගසා මරා දැමූ පාකිස්තාන තරුණියගේ මරණය පාකිස්තානයේ මෙන්ම ලෝකයේම අවධානයට පාත්‍ර වී තිබේ.
මෙම සිදුවීම පාකිස්තානයේ, ලාහෝර් නුවර මහාධිකරණ ගොඩනැගිල්ලක් අසලදී, පොලීසිය බලා සිටියදීම සිදුවීම තවත් ඛේදජනක තත්ත්වයක් බව පැවසෙයි.
ෆර්සානා පර්වීන් නමැති මෙම කාන්තාව මෙසේ ඝාතනය කෙරෙන විට ඇය ගැබිණියකව සිටි බවද කියැවෙයි.
එහිදී, ගඩොල් හා ගල්මුල්වලින් පහර දෙමින් ඇය මරා දමා ඇති බව කියැවෙයි.
“ගැබ් ගෙන සිටි ෆර්සානා මරා දමන තුරු ඔවුන් බලා සිටියා, බේරගන්න කිසිවක් කළේ නැහැ,” ඇගේ ස්වාමියා මොහමඩ් ඉක්බාල් බී.බී.සී.ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.
පවුලේ කීර්තිය රැකගැනීම වෙනුවෙන් පාකිස්තානයෙන් සෑම වසරකම වාර්තා වන මෙවැනි ඝාතන සිය ගණනක් බව කියැවෙයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවිනීදන් පිල්ලේ පවසා සිටියේ, එය ඇසීමෙන් පවා තමන් කම්පනයට පත්වූ බවයි.
මෙවැනි සිදුවීම් වැළැක්වීමට කඩිනම් හා සෘජු පියවර ගන්නා ලෙසද ඇය පාකිස්තාන රජයෙන් ඉල්ලීමක් කර ඇති බව කියැවෙයි.
“අපි උදව් ඉල්ලා කෑගැහුවා. ඒත් කවුරුවත් ඇහුම්කන් දුන්නේ නැහැ. පොලීසිය ගෙන්වා ගන්න, ඔවුන්ගේ අවධානය යොමු කරන්න, මගේ ඥාතියෙක් ඇඳුම් ගැලෙව්වා. ඒත් පොලීසිය මැදිහත් වුනේ නැහැ.” මොහොමඩ් ඉක්බාල් වැඩිදුරටත් පවසා සිටියේය.
දෙමව්පියන් විසින් දියණියන් සඳහා සූදානම් කරන විවාහවලට පාකිස්තානයේ විශාල පිළිගැනීමක් පවතින අතර, මේ තත්ත්වය තුළ ප්‍රේම සම්බන්ධතාවක් මත විවාහයක් සිදුවුවහොත් එය පවුලට කරන අවනම්බුවක් ලෙස සලකා මෙසේ ගල් ගසා මරා දමන තත්ත්වයන් බහුල බව කියැවෙයි.
මරා දැමුණ පර්වීන්ගේ පියා පසුව පොලීසියට භාර වූ නමුත් පහර දීමට සම්බන්ධ වූ සෙසු ඥාතීන් තවමත් නිදැල්ලේ පසුවන බව කියැවෙයි.
ඔවුන් තමන්ටත් තම පවුලේ අයටත් තර්ජනය කරන මොහමඩ් ඉක්බාල් වැඩිදුරටත් පැවසුවේය.
“මළ සිරුර හොරෙන් රැගෙන යන බව ඔවුන් පහුගිය අඟහරුවාදා පැවසුවා. අපි මෙහෙට ආවේ පොලීසියත් එක්ක,” ඔහු තවදුරටත් පැවසුවේය.
පළාතේ පොලිස් ප්‍රධානියා පැවසුවේ කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවය. එමෙන්ම සෙසු පුද්ගලයන් පිළිබඳව පරීක්ෂණ දියත් කොට ඇති බවද ඔහු පවසා සිටියේය.