නැගෙනහිර යුක්රේනය ජයගන්නා බව යුක්රේන ආරක්ෂක ඇමති කියයි
නැගෙනහිර යුක්රේනයේ බලය අල්ලාගෙන සිටින රුසියානු හිතවාදී කැරලිකරුවන්ට එරෙහිව තම හමුදා සැලකිය යුතු භූමි ප්‍රමාණයක් අත්පත් කරගෙන සිටින බව යුක්රේනයේ ආරක්ෂක අමාත්‍යවරයා පවසා සිටියි.
බී.බී.සී.ය සමග අදහස් දක්වමින් වැලේරි හෙලේටි අවධාරණය කළේ ඉතා ඉක්මණින්ම ජයග්‍රහණයක් බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම, MH17 යානය අනතුරට පත් කලාපය වෙත අන්තර්ජාතික අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට ඇතුළු වීමේදී සිදුවන බාධා සම්බන්ධයෙන් හෙතෙම රුසියානු හිතවාදී කැරලිකරුවන්ට චෝදනා කළේය.
මේ වනවිට නැගෙනහිර යුක්රේනයේ ජනතාව ආහාර හිඟයකින් පසුවන බවත්, ඔවුන් බොහෝවිට බිම්ගෙවල් තුළ ජීවත් වන බවත් කියැවෙයි. එමෙන්ම, ජලය හා විදුලියද නොමැති කමින් ඔවුන් පීඩා විඳින බවද පැවසෙයි.
එමෙන්ම, පසුගිය සෙනසුරාදා සිදුවූ ගැටුම්වලින් පමණක් ඩොනෙට්ස්ක් හා ලුහාන්ස්ක් යන පළාත් දෙකේ සිවිල් වැසියන් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

