තමන් නව යොවුන් වියේ තරුණයෙකුව සිටියදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ බව පිලිපීන ජනපති රොඩ්රිගෝ ඩුටාර්ටේ පවසා තිබේ.
"අවුරුදු 16 දී මම කෙනෙක්ව මැරුවා" වියට්නාමයේ ඩා නැන්ග් නගරයේ පැවැත්වෙන කලාපීය සමුළුවකට සහභාගී වී සිටින පිලිපීන නායකයා එම නගරයේ සිටින පිලිපීන ජනතාව අමතමින් මෙම අදහස් දැක්වීම සිදුකර තිබේ.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙකු පසුව පවසා තිබුණේ ඔහු කවටකමක් සිදුකර ඇති බවකි.
පිලිපීන ජනාධිපතිවරයා තමන් අතින් සිදුවූවා යැයි කියන මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් කටමත දෙඩවූ ප්‍රථම අවස්ථාව මෙය නොවෙයි.
මීට පෙරද ඔහු පවසා තිබුණේ තමන් ඩාවෝ නගරාධිපතිවරයාව සිටියදී අපරාධ සම්බන්ධ සැකකරුවන් ඝාතනය කළ බවකි.
ආසියා-පැසිෆික් ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා වියට්නාමයට ගොස් සිටින පිලිපීන නායකයා කලාපයේ නායකයන් පිරිසක් සමගම මෙම සමුළුව අතරවාරයේදී සාකච්ඡා පැවැත්වීමට නියමිතව සිටී.