ධවල මන්දිර සන්නිවේදන අධ්යක්ෂ ස්කාරමූචි ඉවතට
ධවල මන්දිරයේ සන්නිවේදන අධ්යක්ෂවරයා ලෙස මීට සති දෙකකට ආසන්න කාලයේදී වැඩභාර ගත් ඇන්තනී ස්කාරමූචි එම ධුරයෙන් ඉවත්කර තිබේ.
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය සතියේ සිකුරාදා දිනයේදී (21දා) ස්කාරමූචි ධවල මන්දිර සන්නිවේදන අධ්යක්ෂ ධුරයට පත්කිරීමට විරෝධය දක්වමින් ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී රෙයින්ස් ප්රීබස් සහ ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ ෂෝන් ස්පයිසර් යන දෙදෙනාම සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වූහ.
මෙවැනි මතභේදාත්මක පරිසරයක, සන්නිවේදන අධ්යක්ෂ ධුරයේ දින 10ක් සේවය කළ ස්කාරමූචි එම ධුරයෙන් ඉවත්කිරීමේ මෙම නව තීරණය ගෙන ඇත්තේ ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස අලුතින් තේරී පත්වූ ජෝන් කෙලී විසිනි.
මෙම ඉවත්කිරීම සම්බන්ධයෙන් ඉතා කෙටි නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය පවසා තිබුණේ, ඇන්තනී ස්කාරමූචි ධවල මන්දිර සන්නිවේදන අධ්යක්ෂ ධුරයෙන් ඉවත්ව යන බව පමණි.
කෙසේ වෙතත්, සිය ධුරයේ වැඩ අරඹා පළමු දින 10 තුළදීම ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානීන්ට අවනත නොවී, සෘජුවම ජනපති ට්‍රම්ප් ඇමතීමට ස්කාරමූචි කටයුතු කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, ජනපති ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ඊයේ (31දා) දිනයේදී වැඩභාරගත් ජෙනරාල් ජෝන් කෙලී සිය ධුරයේ පළමු කාර්යයන් අතරට මෙම තීරණය ගෙන තිබීමද විශේෂත්වයකි. ඔහු ඇමෙරිකාවේ අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇති අත්දැකීම් බහුල පුද්ගලයෙකු ලෙස සැලකෙයි.
පසුගිය සිකුරාදා (28දා) දිනයේදී හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී රෙයින්ස් ප්රීබස් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට ස්කාරමූචි විසින් සිය ට්විටර් ගිණුමට එක්කළ ඔහුට තර්ජනය කෙරෙන පණිවුඩයක් හේතු වී ඇති අතර, පසුව ඔහු එම ට්විටර් පණිවුඩය සිය ගිණුමෙන් ඉවත් කරගෙන තිබූ බවද සඳහන් වෙයි. එමෙන්ම, ස්කාරමූචි ජනපති ට්‍රම්ප්ගේ ප්‍රධාන මූලෝපාය නිලධාරී ස්ටීව් බෙනන් පිළිබඳවද සීමාව ඉක්මවූ ප්‍රකාශයක් සිදුකර ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි. මේ සියලු සිදුවීම් ඔහුව සිය ධුරයෙන් ඉවත් කිරීමට හේතු වන්නට ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

