ඉන්දියාවේ උතුරු බිහාර් ප්‍රාන්තයේදී මෝටර් රථයකට දරුවන් 09 දෙනෙකු යටවීමේ සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීවරයා පොලීසියට භාරවී තිබේ.
මනෝජ් බාතියා නැමති මෙම මන්ත්‍රීවරයා ගමන් කළ එස්.යූ.වී. රථය සිසුන් පිරිසක් වෙත කඩා වැදීමෙන් මෙම මරණ සිදුව ඇති අතර, පසුගිය සෙනසුරාදා සිදුවූ මෙම අනතුරින් පසුව අදාළ මන්ත්‍රීවරයා පළා යමින් සිට ඇති බව කියැවෙයි. කෙසේ වෙතත්, අවසානයේදී ඔහු මෙසේ පොලීසියට භාරවී තිබේ.
මෙම අනතුරින් තවත් දරුවන් 10 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
වයස අවුරුදු 7ත් - 13ත් අතර වයස්වල දරුවන් මෙම සිදුවීමට මුහුණදී ඇති අතර, ඔවුන් පාසල නිමවී යළි නිවස බලා එමින් සිට ඇති බව කියැවෙයි.
පාසල ආසන්නයේදී වයස අවුරුදු 65ක පමණ කාන්තාවක මෙම රථයේ ගැටීමත් සමග අදාළ මන්ත්‍රීවරයාට සිය වාහනය පාලනය කරගත නොහැකිව මෙම දරුවන් වෙතට කඩා වැදී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පසුව ඔහුගේ භාරතීය ජනතා පක්ෂ සාමාජිකත්වය තහනම් කර ඇත.