ඇමෙරිකාව වෙත සරණාගතයන් ඇතුළුවීම වළක්වාලමින් ඔවුන් යළි සිය රටවලට හරවා යැවීමට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගනු ලැබූ විධායක නියෝගය තාවකාලිකව අත්හිටුවීමේ අධිකරණ නියෝගයක් නිකුත් වී තිබේ.
විදෙස් වාර්තා පෙන්වාදෙන පරිදි, ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ විධායක නියෝගයට එරෙහිව එරට සිවිල් නිදහස් සංගමය විමින් පසුගිය සෙනසුරාදා ගොනුකරන ලද නඩුවකට අනුව මෙම අධිකරණ නියෝගය නිකුත් වී තිබේ.
එහිදී, ඔවුන් අධිකරණය වෙත පවසා තිබුනේ ගුවන් තොටුපොළ හා සංක්‍රමණ මධ්‍යස්ථානවලදී 100 ත් 200ත් අතර පිරිසක් රඳවාගනු ලැබ ඇති බවයි.
මේ අතර, ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ විධායක නියෝගයට එරෙහිව එරට ගුවන් තොටුපොළ රැසක විරෝධතා ව්‍යාපාර පැවැත්වුණු බවත්, මෙම අධිකරණ නියෝගයත් සමග ඔවුන් ප්‍රීතිඝෝෂා පැවැත්වූ බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
පසුගිය සිකුරාදා දිනයේදී ජනපති ට්‍රම්ප් විසින් අත්සන් කළ විධායක නියෝගයට අනුව එරට වෙත සිදුකරන සියලුම ආකාරයේ සරණාගත පැමිණීම් මාස 4ක කාලයක් අත්හිට වූ අතර, ඉරානය, ඉරාකය, ලිබියාව, සෝමාලියාව, සුඩානය, සිරියාව සහ යේමනය යන රටවලින් සිදුකෙරෙන සරණාගත පැමිණීම්වලටද මාස තුනක අත්හිටුවීමක් පණවනු ලැබීය.
මෙම අධිකරණ නියෝගයට අනුව ගුවන් තොටුපොළවල රැඳී සිටින සරණාගතයන් හෝ සෙසු පිරිස් නැවත ඔවුන්ගේ රටවලට ආපසු හරවා යැවීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
මෙය ඇමෙරිකානු ජනාධිපතිවරයා අධිකරණය ඉදිරියේ පළමු සතියේදීම ලැබූ පරාජයක් බව ඇමෙරිකානු සිවිල් නිදහස් සංගමය පවසා සිටියි.