ඇමෙරිකාව වෙත සිදුකෙරෙන සංක්රමණ වළක්වාලමින් ජනපති ඩොනල්ඩ් ට්රම්ප් විසිනු ගනු ලැබූ විධායක නියෝගය හේතුවෙන් ගූගල් සමාගම අවුලක පැටලී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, ගූගල් සමාගම විදෙස් සංචාරවල නිරතව සිටින සිය කාර්ය මණ්ඩලය වෙත දන්වා යවා ඇත්තේ හැකි ඉක්මණින් යළි ඇමෙරිකාව වෙත පැමිණෙන ලෙසයි.
විශේෂයෙන්ම විදෙස් සම්භවයක් ඇති වැඩි පිරිසක් ගූගල් සමාගමේ සේවය කරන අතර, ට්රම්ප්ගේ විධායක නියෝගය එහි සේවය කරන 100කට වැඩි පිරිසක් වෙත සෘජුවම බලපැවැත්වෙන බවද එම සමාගම පවසා තිබේ.
මේ තත්ත්වය තුළ සමාගමේ සේවකයන්ට හා ඔවුන්ගේ පවුල්වල අයට දැරීමට සිදුවන පෞද්ගලික වියදම් සම්බන්ධයෙන් දැඩි ලෙස කනගාටු වන බවද සමාගම පවසා තිබේ.
ඇමෙරිකානු තාක්ෂණ සමාගම් පෙන්වා දෙන්නේ ජනපති ට්රම්ප්ගේ නියෝගය හේතුවෙන් විශේෂ හැකියාවන්ගෙන් යුතු අයට ඇමෙරිකාවේ දොරගුළු විවර වීමේ බාධාවක් ඇතිවන බවයි. මේ තත්ත්වය තුළ ඇමෙරිකානු තාක්ෂණික සමාගම් කිහිපයක් මෙම සංක්රමණික නීති ලිහිල් කිරීම සම්බන්ධයෙන් ට්රම්ප් සමග සාකච්ඡා කිරීමට සූදානම් වන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.