ජපානයට බලපෑ ප්රබල භූ කම්පනයෙන් පසුව අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු තවමත් සිදුවන බව විදෙස් වාර්තා පවසයි.
මෙම භූ කම්පනය හේතුවෙන් මිලියනට භාගයකට අධික වැසියන් අවතැන් කඳවුරුවල දිවි ගෙවන බවද ජපාන වාර්තා පෙන්වා දෙයි.
සෙනසුරාදා උදෑසන ක්යූෂු දූපතේ කුමාමොටෝ ප්රදේශයට බලපෑ රික්ටර් පරිමාණ 7.3ක ප්රබල භූ කම්පනය හේතුවෙන් මියගිය පිරිස 32 ක් දක්වා ඉහළ නැග තිබුණි.
මෙම දූපතේම පුද්ගලයන් 9ක් ජීවිතක්ෂයට පත් කරමින් ඇති වූ ප්රබල භූ කම්පනයෙන් පසුව ඇති වූ මෙම දෙවැනි භූ කම්පනය හේතුවෙන් තුවාල ලැබූ පිරිසද දහස් ගණනකි.
එමෙන්ම, ගොඩනැගිලි, මංමාවත්, පාලම් ආදී බොහෝ ස්ථාන සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී තිබුණි.
ජපානයේ සිවිල් ආරක්ෂක බලකාය, පොලීසිය හා ගිනි නිවන හමුදාව එක්ව මුදාගැනීමේ මෙහෙයුම් සිදුකරන බවත්, මේ සඳහා ඇමෙරිකානු විශේෂඥ ආධාර ලබාදීමට ඉල්ලීමක් කර තිබුණද, තත්ත්වය පාලනය කරගැනීමට ජපානයට හැකි බව ඇමෙරිකාව වෙත දන්වා ඇති බවද විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, භූ කම්පනයෙන් පසුව ඇති විය හැකි ධාරාණිපාත වර්ෂාවත් සමග නායයෑම්වල අවදානමක්ද ඇති වී තිබේ. මේ නිසා පුද්ගලයන් ලක්ෂ 2.5ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබේ.
මේ හේතුවෙන් නිවාස ලක්ෂ 5කට ජලය නොමැතිවද, තවත් නිවාස ලක්ෂයක් විදුලිය නොමැතිවද පීඩා විඳින බවද කියයි.
භූ කම්පනවලට වඩාත් අවදානමක් දරන පැසිෆික් කලාපය ආශ්රිතව ජපානය පිහිටා තිබීම හේතුවෙන් භූ කම්පන එරටට විශේෂ දෙයක් නොවුණද, මෙය 2011 වසරේ දැවැන්ත සුනාමි අනතුරක්ද සමග ජීවිත 20,000ක් විනාශ කරමින් සිදුවූ භූ කම්පනයෙන් පසුව ඇති වූ ප්රබල භූ කම්පනයක් ලෙස සටහන් වී තිබේ.