ජපනා හපනා බව මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණි ජපන් අගමැතිවරයා පවා ප්‍රකාශ කළත්, ඇතැම් අවස්ථාවල ජපනා හපනා නොවී, ජපනා අමනා වන අවස්ථාද පවතින බව ප්‍රකට කරන පුවතක් යළිත් කරළියට පැමිණ තිබේ.
ඒ ලොව පුරා මතභේදයට ලක් වී ඇති ජපානයේ වාර්ෂික තල්මසුන් දඩයම ලබන වසරේදී නැවත ආරම්භ කරන බව ජපාන රජය තරයේ පවසා සිටීමත් සමගිනි.
ජපානය මෙම පියවර ගෙන ඇත්තේ තල්මසුන් පිළිබඳ අන්තර්ජාතික කොමිසම විසින් මෙම තල්මසුන් දඩයම නීති විරෝධී බව තීරණය කිරීමත් සමගිනි.
විද්‍යාත්මක පර්යේෂණ සඳහා යැයි කියමින් ජපානය වාර්ෂිකව සිදුකරන තල්මසුන් දඩයම විද්‍යාත්මක පර්යේෂණ සඳහා පමණක් සිදු කරන්නක් නොව, එය වාණිජ පරමාර්ථයෙන් සිදුකරන්නක් බැවින් එය නීති විරෝධී බව එම කොමිසම පෙන්වා දී තිබේ.
1986 වසරේ තල්මසුන් දඩයමට එරෙහිව අන්තර්ජාතික තහනමක් පැනවූ නමුත් විද්‍යාත්මක පර්යේෂණ සඳහා පමණක් තල්මසුන් මැරීමට අවසරදී තිබුණි.
තල්මසුන් දඩයම ජපාන සංස්කෘතියේ අංගයක් බව ජපාන අගමැති ෂින්සෝ අබේ මීට ඉහතදී ප්‍රකාශ කර තිබුණි.