2016 ඇමෙරිකානු ජනාධිපතිවරණයට රුසියානු අතපෙවීමක් සිදුවූයේ යැයි පැවසීම තමන් වෙත සිදුකරන අපහාසයක් බව රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් පවසන්නේ යැයි ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි.
වියට්නාමයේදී ආරම්භ වූ ආසියානු - පැසිෆික් කලාපීය සමුළුව අතරවාරයේදී රුසියානු නායකයා සමග පැවති හමුවකින් පසුව ඇමෙරිකානු නායකයා මෙසේ පවසා තිබේ.
"අපේ ජනාධිපතිවරණයට ඔහු කිසිම ආකාරයක මැදිහත්වීමක් නොකළ බව ඔහු පවසනවා." ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් වවසයි.
පසුගිය වසරේ අගභාගයේ පැවති මැතිවරණයෙන් ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පරාජයට පත්කළ ට්රම්ප් කියා සිටියේ ඩිමොක්රටික් පක්ෂයේ එකම කතාව මෙය පමණක් බවයි.
ඇමෙරිකානු බුද්ධි අංශ පවසා තිබුණේ, ජනධිපතිවරණයේදී ට්රම්ප්ට වාසිදායක ලෙස අවසන් ප්රතිඵලය ලබාගැනීම සඳහා රුසියාවේ මැදිහත්වීමක් සිදුකර ඇති බවකි.
එමෙන්ම එරට ඩිමොක්රටික් පක්ෂයද මෙම චෝදනාව වරින් වර ඉස්මතු කරන අතර, ඒ සෑම අවස්ථාවකදීම රුසියාව මෙය තරයේ ප්රතික්ෂේප කර තිබේ.
කෙසේ වෙතත්, ඇමෙරිකානු නායකයා සහ රුසියානු නායකයා මේ ආකාරයෙන් එකිනෙකා මුණගැසී සුහදව හැසිරීම ලෝක දේශපාලනය තුළ යම් සුබවාදී ලකුණක් බවටද බොහෝ දේශපාලන විචාරකයෝ පවසති.
මන්දයත්, මීට පෙර රුසියානු නායක පූටින් සහ ඇමෙරිකානු නායක ඔබාමා හමුවූ සෑම අවස්ථාවකදීම පාහේ බොක්සිං තරගයක් ආරම්භයට පෙර ප්රතිවාදී තරගකරුවන් දෙදෙනා එකිනෙකා හමුවූ අවස්ථාවක් සිහි කැඳවූ බැවිනි.