ඉන්දියාවේ, දකුණුදිග චෙන්නායි නගරයට (මැඩ්රාස්) බලපා ඇති ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දරුණු ගංවතුර තත්ත්වයක් ඇති කරනු ඇති බව කාලගුණ දත්ත පවසයි.
මීට පෙර 2015 වසරේදීද චෙන්නායි වෙත මෙවැනිම දරුණු ගංවතුර තත්ත්වයක් ඇති වූ අතර, එම අවස්ථාවේදී ජීවිත හානි 100ක් පමණ සිදුවිය.
මේ තත්ත්වය නිසා මේ වනවිට පාසල් සහ විශ්වවිද්‍යාල වසා දමා ඇති අතර, ජලයෙන් පිරුණු මංමාවත් දැඩි රථවාහන තදබදයක් ඇති කර ඇති බවත්, ගුවන් ගමන් ප්‍රමාද වී ඇති බවත් චෙන්නායි බලධාරීහු පවසති.
මේ අතර, තමිල්නාඩු ප්‍රාන්තයේ වෙරළාසන්න නගර රැසකටද මෙම වැසි හේතුවෙන් දැඩි බලපෑමක් ඇති වී තිබේ.
බෙංගාල බොක්කේ ඇති වූ කැලඹිලි තත්ත්වයක් හේතුවෙන් පසුගිය සඳුදා දිනයේ සිට මෙම වැසි තත්ත්වය ඇති වූ අතර, මේ වනවිටත් නගරයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බවත්, ඉදිරියේදී ජල මට්ටම් වැඩිවීමේ අවදානමක් පවතින බවත් විශ්වාස කෙරෙයි.
මෙම වැසි තත්ත්වය තවත් දින කිහිපයක් පැවතිය හැකි බවද කාලගුණ අංශ සඳහන් කර තිබේ.