චීන ජනපති ධුරය වසර පහක ධුර කාල දෙකක් සඳහා සීමා කෙරෙන ව්‍යවස්ථා වගන්තිය ඉවත් කරමින් ජනපති ධුර කාලය දීර්ඝ කෙරෙන නව යෝජනාවක් පාලක කොමියුනිස්ට් පක්ෂය විසින් ඉදිරිපත් කර තිබේ.
මෙම ව්‍යස්ථා සංශෝධනය සිදු වුවහොත් චීනයේ වත්මන් ජනපති ෂී ජින්පින්ට තවදුරටත් බලයේ රැඳී සිටීමට අවස්ථාව හිමිවෙයි.
වර්ෂ 2023 න් පසුද ෂි ජින්පින් චීනයේ ජනපති ධුරය දරනු ඇති බවට මතය තහවුරු කෙරුණේ, මාඕ සේතුන්ගෙන් පසුව චීනයේ බිහිවූ අග්‍රගණ්‍ය නායකයා ලෙස කොමියුනිස්ට් පක්ෂය විසින් ෂී ජින්පින් ඔසවා තැබීමත් සමගිනි.
එමෙන්ම ෂී ජින්පින් මතවාදය කොමියුනිස්ට් පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළු කිරීමටද පක්ෂය කටයුතු කළ අතර, ඔහුගෙන් පසුව නායකත්වය සඳහා අනුප්‍රාප්තිකයෙකු නම් නොකිරීමද ඔහුගේ බලය තවදුරටත් තහවුරු කෙරුණු සංඥාවක් විය.
වර්ෂ 1953 දී උපත ලැබූ ෂී ජින්පින් කොමියුනිස්ට් පක්ෂ ආදි කර්තෘවරයෙකුගේ පුත්‍රයෙකි. වර්ෂ 1974 දී කොමියුනිස්ට් පක්ෂය සමග සම්බන්ධ වූ ඔහු වර්ෂ 2013 දී චීනයේ ජනපති ධුරය දක්වා ඉහළට පැමිණියේය.
ඔහුගේ ධුර කාලය තුළ මේ වනවිට චීනයේ ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් සිදුව ඇති අතර, දූෂණයට එරෙහිව දැඩි පියවර ගැනුණි. එමෙන්ම, ජාතිකත්වය වෙනුවෙන් පෙනීසිටි නායකයෙකු ලෙස ප්‍රකට ඔහු බටහිර ගැති නොවූ නායකයෙකු විය. චීනයේ වත්මන් ව්‍යවස්ථාව අනුව ෂි ජින්පින් ජනපතිවරයාගේ ධුර කාලය වර්ෂ 2023න් අවසන් වීමට නියමිතය.