බලයෙන් පහකර ඝාතනය කෙරුණු ලිබියාවේ හිටපු ජනපති මුහම්මර් ගඩාෆිගේ පුත් සයීෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඇතුළු එකල පාලන සමයේ සිටි නිලධාරීන් පිරිසකට ට්‍රිපෝලි අධිකරණය මරණ දඬුවම නියම කර තිබේ.
සිය පියා බලයෙන් පහ කිරීම සඳහා 2011 වසරේදී එරට තුළ පැන නැඟුණු මහජන නැගිටීම මැඬපැවැත්වීම සඳහා හමුදා බලය යෙදවීම ඔහුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවයි.
මීට අමතරව ගඩාෆි පාලනයේ තවත් නිලධාරීන් පිරිසක් වන හිටපු බුද්ධි අංශ ප්‍රධානී අබ්දුල්ලාහ් අල්-සෙනුස්සි, හිටපු අගමැති අල්-මහ්මූදි අල්-බග්දාදි සහ හිටපු විදේශ බුද්ධි අංශ ප්‍රධානී බුසෙයිඩ් ඩොර්ඩා මෙසේ මරණ දඬුවමට ලක්ව සිටින්නවුන්ය.
කෙසේ වෙතත් මෙම නඩු විභාගය වෙනුවෙන් සයිෆ් අල්-ඉස්ලාම් නොසිටි අතර, ඔහු අවසන් වරට අත්අඩංගුවට ගත් සටන්කාමීන් ඔහුට කුමක් කළේද යන්න මෙතෙක් අනාවරණය වී නැත.