ස්පාඤ්ඤයේ කැටලෝනියා පළාතේ හිටපු ජනපතිවරයා වන කාර්ල්ස් පුයිග්ඩෙමොන්ට් වෙත ස්පාඤ්ඤ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ලබාදී තිබූ නියෝගය ඔහු පසුගියදා ප්‍රතික්ෂේප කර තිබේ.
ස්පාඤ්ඤය රජය විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට පිඹුරුපත් සකසන විට බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට පළාගිය හිටපු කැටලෝනියානු නායකයා, මෙම තීරණයද බ්‍රසල්ස් සිට දන්වා තිබුණි.
කැටලෝනියා පළාත ස්පාඤ්ඤයෙන් වෙන්වූ ස්වයං පාලනයකට යටත් රාජ්‍යයක් බවට පත්කිරීමේ ව්‍යායාමයට මධ්‍යම රජය එරෙහි වීම තුළ මෙම අර්බුදය හටගත් අතර, පැවති ජනමත විචාරණයට පක්ෂව ඡන්ද ලැබී, වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත්කිරීමත් සමගම ස්පාඤ්ඤය විසින් පැවති රජය පෙරළා දමා සියලු ආයතන පවා මධ්‍යම රජය වෙතට පවරා ගනු ලැබීය.
ඒ සමගම ධුරයෙන් නෙරපා දැමුණු කැටලෝනියානු ජනාධිපතිවරයාට එරෙහිව පසුව ස්පාඤ්ඤ නීතිපතිවරයා චෝදනා ගොනුකිරීම සිදුවිය. බෙල්ජියම වෙත පළාගියත් තමන් එරට දේශපාලන රැකවරණය බලාපොරොත්තු නොවන බව කැටලෝනියානු නායකයා පවසා තිබුණි.