දකුණු කොරියාවේ කොරියන් එයාර් ගුවන් සේවයේ ගමන් ගන්නා ඇතැම් මගීන්ගේ කලහකාරී හැසිරීම් පාලනය කිරීම සඳහා එරට ගුවන් කාර්ය මණ්ඩලය තවදුරටත් බලගැන්වීමට සූදානම් වන බව වාර්තා වේ.
විශේෂයෙන්ම ගුවන් යානයක් තුළ කලහකාරීව හැසිරෙන පිරිස් වෙත වඩාත් තදින් හා ක්ෂණිකව ක්රියාත්මක වෙමින් ඔවුන් හසුරුවා ගැනීම සඳහා කාර්ය මණ්ඩලය වෙත නව පුහුණුවක් ලබාදීම මෙම සූදානම බවද කියයි.
පසුගියදා ඇමෙරිකානු ගායක රිචඩ් මාක්ස් හැනොයි සිට සෝල් දක්වා ගමන් කළ කොරියන් එයාර් ගුවන් යානයක් තුළ පීඩාවට පත් මගියෙකුට සහාය වීම සඳහා ඉදිරිපත් වී තිබුණු අතර, එහිදී, යානයේ කාර්ය මණ්ඩලය එම ගැටුම මැඬපැවැත්වීම සඳහා ඉදිරිපත්වීම අතිශය මන්දගාමී ස්වරූපයක් ගත් බව ඔහු පවසා තිබුණි.
කොරියන් එයාර් ගුවන් සේවයද මේ තත්ත්වය පිළි ගනිමින් විදුල් සැරක් වැදීමට සලස්වන කුඩා අවියකින්ද සිය කාර්ය මණ්ඩලය සන්නද්ධ කරමින්, තම ගුවන් සේවයේ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සූදානමින් සිටියි.
