දෙවැනි වතාවටත් චීනයේ සංචාරයක නිතර වූ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් වෙත උණුසුම් පිළිගැනීමක් චීනයෙන් හිමිව තිබූ බව විදෙස් වාර්තා පවසයි.
ඊසානදිග චීනයේ, ඩාලියාන් නගරයේදී මෙම සුවිශේෂී හමුව සිදුවන්නේ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් සහ ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් අතර තවත් ඓතිහාසික හමුවකට සති කිහිපයක් තිබියදීය.
මෙම හමුව චීනය සහ උතුරු කොරියාව අතර පැවති සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ මෙන්ම, ඇමෙරිකාව වෙතද චීනයේ බලපෑම තවදුරටත් විදහා දැක්වීමේද හමුවක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ප්රමුඛ චීනයේ ප්‍රබල දේශපාලඥයන් පිරිසක් උතුරු කොරියානු නායකයා පිළිගෙන තිබුණු අතර, පසුව ජනපති ෂී ජින්පිං සමග පිළිගැනීමේ භෝජන සංග්‍රහයකටද කිම් ජොන්ග්-උන් සහභාගී වී තිබුණි.
එමෙන්ම, වෙරළාසන්න සුන්දර නගරයේ වෙරළ තීරය දිගේ නායක දෙපළ ඉතා සැහැල්ලුවෙන් ගමන් කරන ආකාරය දැක්වෙන ඡායාරූපද ජාත්‍යන්තර මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබුණි.
කොරියානු රාජ්‍යයන් අතර සාකච්ඡාවකට මුල පුරමින් අර්ධද්වීපයේ පැවති උණුසුම්කාරී තත්ත්වය මකා දැමීමට ක්‍රියාකිරීම සම්බන්ධයෙන් උතුරු කොරියානු නායකයාට තුති පිදීමටද චීන නායකයා අමතක නොකළේය.
කෙසේ වෙතත්, මෙම සාකච්ඡාවේදී ඇමෙරිකාවට යම් අනතුරු ඇඟවීමක් කරමින් කිම් ජොන්ග්-උන් පවසා සිටියේ උතුරු කොරියාව තුළ සම්පූර්ණ න්‍යෂ්ටික හරණයකට තමන් සූදානමින් සිටින්නේ, මේ වෙනුවෙන් ක්රියාකරණ සෙසු පාර්ශ්ව තම රටට සතුරු හෝ තම රටේ ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයෙන් කටයුතු කරනතාක් පමණක් බවය.
උතුරු කොරියානු නායකයා මෙවර චීනය වෙත පැමිණ තිබුණේ රජයේ ජ්‍යෙෂ්ඨයන් පමණක් භාවිත කරන විශේෂ ගුවන් යානයකිනි. මීට පෙර, ඔහු චීනයට පැමිණියේ විශේෂ දුම්රියකිනි.