රුසියාව හා යුක්රේන අර්බුදය පසෙකින් තබා බිහිසුණු ඉස්ලාම් අන්තවාදය පිළිබඳව බටහිර ලෝකය අවදියෙන් සිටිය යුතු කාලය උදාවී ඇති බව බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් අනතුරු අඟවා ඇති බව බී.බී.සී.ය පවසයි.
මැද පෙරදිග සිදුවෙමින් පවතින දෙය මගින් පිළිබිඹු වන්නේ විසි එක් වැනි සියවස ආරම්භයේ ලෝකයේ ආරක්ෂාවට එල්ලවන විශාලතම තර්ජනය බව බදාදා ලන්ඩනයේදී පවත්වන දේශනයකට පෙරාතුව ඔහු පවසා තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට, යුරෝපා හවුලට මෙන්ම ඇමෙරිකාවට සහ රුසියාවට මැදපෙරදිග දූතයකු ලෙස කටයුතු කරන ටෝනි බ්ලෙයාර් මැද පෙරදිග සිටින බහුත්වවාදී මෙන්ම නවීන අදහස්වලින් යුක්ත වූවන් සහ පටු කල්පිතවාදී අදහස් බලයෙන් ස්ථාපිත කරන්නට උත්සාහ කරන්නන් අතර පවතින පැහැදිලි අරගලය පිළිබඳව මෙහිදී අදහස් දැක්වීමට නියමිත බව කියැවෙයි.
මැද පෙරදිග කලාපය හා කටයුතු කිරීමේදී නව ප්රතිපත්තියකට අනුව කටයුතු කිරීම යෝග්‍ය බවද ඔහුගේ කතාවේදී අවධාරණය කෙරෙන බව පැවසෙයි.
යුක්රේනය සම්බන්ධයෙන් බටහිර හා රුසියාව අතර පවතින උණුසුම වැඩිවෙමින් පවතින වාතාවරණයක හිටපු අගමැතිවරයා මෙම කතාව පැවැත්වීමට සූදානමින් සිටින බවද බී.බී.සී.ය පවසයි.