ඉරාන - ඉරාක දේශසීමාවේදී පසුගිය ඉරිදා ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හානි ප්‍රමාණය 450ක් පමණ වන අතර, තවත් 8,000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
රික්ටර් පරිමාණ 7.3ක භූ කම්පනයක් ලෙස ඉරිදා රාත්‍රී කාලයේදී ඇතිවූ මෙම ප්‍රබල භූ කම්පනයෙන් පසුව තවත් පසුකම්පන 200ක් පමණ ඇතිවී තිබෙන බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
බටහිර ඉරානයේ කර්මන්ෂා ප්‍රදේශය භූ කම්පනයෙන් වැඩිම හානි සිදුවූ පළාත ලෙස සැලකෙන අතර, එම පළාතේ පමණක් නිවාස සිය ගණනක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
ඉරාන ජනාධිපති හස්සන් රොයුහානි ඊයේ (14දා) එම කලාපයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අතර, එහිදී, ජනාධිපතිවරයාට දැකගැනීමට ලැබුණේ පෞද්ගලික සමාගම් විසින් සෑදූ ගොඩනැගිලිවලට සාපේක්ෂව රජයේ පාර්ශ්වය සෑදූ ගොඩනැගිලිවලට දැඩි හානි සිදුව ඇති බවයි. ඒ අනුව, මේ සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් වහාම නීතිය ඉදිරියට පමුණුවන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
දෙවැනි දිනයටත් සුන්බුන් අතර සිරවී සිටි පිරිස සොයා සෝදිසි මෙහෙයුම් සිදුවූ අතර, බොහෝ දෙනෙකු එළිමහන්වල රාත්‍රිය ගතකළ බැවින් මේ දිනවල පවතින දැඩි සීතල ඉවසා දරාගැනීමටද ඔවුන්ට සිදුව තිබුණි.
මේ අතර, ප්‍රදේශයේ සහන කටයුතුවල නිරත සංවිධාන පවසා සිටියේ 70,000ක පමණ පිරිසට උන්හිටිතැන් අහිමිව ඇති බැවින් ඔවුන්ට වාසස්ථාන සැපයීම කඩිනම් විය යුතු බවයි. මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ යම් අවශ්‍යතාවක් මතු වුවහොත් සහන සැලසීමට ඔවුන් සූදානමින් සිටින බවයි.
ජනාධිපතිවරයාගේ නිරීක්ෂණ චාරිකාව සමග ඊයේ දිනය ජාතික ශෝක දිනයක් බවට පත්කිරීමටද හෙතෙම කටයුතු කර තිබුණි.
ඉරාන රජයේ පුවත් ඒජන්සිය පවසා සිටියේ ඉරානයේ පමණක් භූ කම්පනයෙන් පුද්ගලයන් 432 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මේ අතර, ඉරාකයේද පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. කෙසේ වෙතත්, මියගිය පිරිස මීට වඩා වැඩිවිය හැකි බවද එම පුවත් වාර්තා වැඩිදුරටත් පවසා සිටියි.