ඉතාලියේ සිසිලිය ආශ්රිතව පැතිර ගිය ලැව් ගින්නක් හේතුවෙන් සංචාරක කලාපයක කොටුවූ සංචාරකයන් 700ක් බේරාගෙන තිබේ.
මුහුදු වෙරළ ආසන්න කැලම්පිසෝ සංචාරක කලාපය මේ ආකාරයෙන් හදිසියේ ඇතිවූ ලැව්ගින්නට නතුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, එම ප්රදේශයට අයත් සැන් විඩෝ ලෝ කැපෝ නගරාධිපති මැටියෝ රිසෝ විසින් සිය ෆේස්බුක් ගිණුම හරහා ආධාර ඉල්ලා සිදුකරන ලද ඉල්ලීමකට අනුව ධීවර බෝට්ටු මේ සඳහා සහාය ලබාදී ඇත.
බේරාගත් පිරිස සැන් විටෝ පාසලක් වෙත යොමුකර ඇති බවත්, සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් නොමැති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
සිද්ධියට මුහුණදුන් සංචාරකයන් පවසන්නේ ලැව්ගිනි නිසා ඔවුන් නවාතැන් ගෙන සිටි නිවාස සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වූ බවයි. ඔවුන් මුහුදු වෙරළට දිවවිත් දිවි ගලවාගෙන තිබේ.
ඉතාලියේ දකුණුදිග කොටසේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ යෑම මේ ආකාරයේ ලැව්ගිනි හට ගැනීමට හේතුවක් බවද කියැවෙයි.