ඊසානදිග ඇෆ්ගනිස්ථානයේ සිදු වූ දරුණු නායයාම නිසා පස් යට සැඟවුණු පුද්ගලයන් සොයා ගැනීමේ මෙහෙයුම අත්හැර දැමූ බව බලධාරීහු පවසති.
නාය යෑමේ සිදුවීමෙන් පසුව මුදා ගැනීමේ කණ්ඩායම් සහ ගම් වැසියන් දෙවැනි දිනයටත් මෙහෙයුම්වල නිරත වූ අතර, අවසානයේ ඔවුහු සිය මෙහෙයුම අවසන් කළහ.
මළ සිරුරු 350කට වැඩි ප්‍රමාණයක් පස්යට තිබී සොයාගනු ලැබූවත්, මෙහෙයුම්වලදී ජීවිතය ලබාදිය හැකි කිසිවෙකු සොයා ගැනීමට නොහැකි වූ බව මෙහෙයුම්වලට සම්බන්ධ වූවෝ පැවසූහ.
මේ තත්ත්වය තුළ විශාල නායයෑමක් සිදුවූ ස්ථානය දැවැන්ත සොහොනක් බවට පරිවර්තනය කෙරෙන බව බලධාරීහු පැවසූහ.
අනතුර සිදු වූ ඊශානදිග ඇෆ්ගනිස්තානයේ බඩාක්හසාන් ප්‍රාන්තයේ නියෝජ්‍ය ආණ්ඩුකාර මොහමඩ් බිදාර් පවසන්නේ විපතට පත් ජනතාව සඳහා සහණ මෙහෙයුම් පෙරට යමින් පවතින බවය.
පසුගිය දින කිහිපය පුරා ඇෆ්ගනිස්තානයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් කන්දක් නායයෑමෙන් එම අනතුර සිදු වූ අතර, එයින් ගමක්ම යටවී ගියේය.
කෙසේ වෙතත්, එම පළමු අනතුරට ගොදුරු වූ ජනතාව බේරා ගැනීමට ගිය ජනතාව තවත් නාය යාමකට ගොදුරු වීමෙන් ඔවුන්ද පස් කන්දකට යට වී තිබුණි.
ඒ අනුව, තවදුරටත් නායයෑමේ අවදානමක් පවතින ගම්මාන කිහිපයකම පදිංචි කරුවන් වහාම ඉවත් කිරීමට පියවර ගත් බවද බලධාරීන් පෙන්වා දී තිබුණි.