ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට තීරණාත්මක බහුතර ඡන්දයක් ලබාගැනීමට නොහැකි වුවහොත් දෙවැනි වටයේ ඡන්ද විමසීමක් සිදු කළ යුතු බව ඔවුහු ප්‍රකාශ කරති.
පසුගියදා පැවති මැතිවරණයෙන් පසුව මේ වනවිට ඡන්ද ගණන් කිරීම සිදුකෙරමින් පවතින අතර, මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් කිසිවෙකුට පැහැදිලි බහුතරයක් ලබාගැනීමට නොහැකි තත්ත්වයෙක් පෙනෙන බව විශ්ලේෂකයෝ පවසති.
කෙසේ වෙතත්, මෙවර මැතිවරණයේ ඉදිරියෙන් සිටිනු ඇතැයි බවට විශ්වාස කෙරෙන එරට හිටපු විදේශ අමාත්‍ය අබ්දුල්ලාහ් අබ්දුල්ලාහ් පවසා සිටියේ ඇෆ්ගනිස්ථාන ජනතාවට ඡන්ද ප්‍රකාශ කිරීමට තවත් අවස්ථාවක් ලබාදිය යුතු බවය.
මෙවර මැතිවරණයේ ඉදිරියෙන් සිටින අනෙක් අපේක්ෂකයා වන්නේ හිටපු මුදල් ඇමති අශ්රෆ් ඝානි ය. ඔහුද අබ්දුල්ලාහ් සේම පවසන්නේ ජනතාවට තවත් අවස්ථාවක් ලබාදිය යුතු බවය.
කෙසේ වෙතත්, මෙවර ජනාධිපතිවරණයේ පළමු වටය තලේබාන් සංවිධානයේ විශාල බාධා කිරීමකින් තොරව පැවැත්විණි. නමුත්, සාමාන්‍යයෙන් තලේබාන් ප්‍රහාර උත්සන්න වන කාලවකවානුවක් ලෙස සැලකෙන මැයි මාසයේදී මැතිවරණයේ දෙවැනි වටයේ ඡන්ද විමසීමක් ආරම්භ කිරීම ආරක්ෂාව පිළිබඳ දෙවරක් සිතා බැලීමට සිදුවන තත්ත්වයක් බවද කියැවෙයි.