ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණය සාර්ථකව පැවැත්වීම සම්බන්ධයෙන් බටහිර මෙන්ම ඇෆ්ගන් නායකයන්ද උද්දාමයට පත්ව ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ප්රජාතන්ත්රවාදී මැතිවරණයකින් රටේ බලය හුමවාරු වන ප්‍රථම මැතිවරණය මෙවැනි සාර්ථකත්වයක් ලැබීම ඇෆ්ගනිස්ථානයේ සංධිස්ථානයක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඊයේ පැවති ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ මිලියන 12ක ඡන්ද දායකයන්ගෙන් මිලියන 7කට වඩා වැඩි පිරිසක් ඡන්දයදී ඇතැයි බලධාරීහු පවසති.
නව ජනාධිපතිවරයකු තෝරා ගැනීම සඳහා ඇෆ්ගන් ජනතාව ඉතා උනන්දුවෙන් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සහභාගී වූ බව කියැවෙයි.
ඇතැම් ඡන්ද පොළවල මැතිවරණ ලිපි ලේඛන අවසන් වීම නිසා ඒවා යළි සැපයීමට පවා සිදුවූ බව වාර්තා විය. මේ අතර, ඇතැම් ස්ථානවල ප්‍රචණ්ඩකාරී ක්‍රියාද වාර්තා වී තිබේ.
කෙසේ වෙතත් මැතිවරණයට පෙර සිටම ඊට බාධා පමුණුවන බවට තලේබාන් සංවිධානයෙන් ලැබුණු අනතුරු ඇඟවීම් සහ ඇතැම් ප්‍රහාර හේතුවෙන් මැතිවරණය සඳහා දැවැන්ත ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූ බව එරටින් වාර්තා වෙයි. පොලීසියේ හා හමුදාවේ ලක්ෂ 4කට ආසන්න භට පිරිස් මැතිවරණයට ආරක්ෂාව සපයමින් සිටිති.
වත්මන් ජනාධිපති හමීඩ් කර්සායි වෙනුවට පත්වන නව ජනාධිපතිවරයා වීම සඳහා අපේක්ෂකයන් අට දෙනෙක් මැතිවරණ තරග බිමේ සිටි අතර, ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මිලියන 12ක ඡන්ද දායකයන් පිරිසක් සුදුසුකම් ලැබූහ.
බිය වැද්දීම් හා බෝම්බ තර්ජන මෙන්ම ඊයේ සිට ඇද හැලෙන අධික වර්ෂාවද නොතකා එරට ජනතාව ඡන්ද පොළවල් කරා වැළ නොකැඩී පැමිණි බවද විදෙස් පුවත් සේවා පවසයි.
කෙසේ වෙතත් මැතිවරණයට පෙර දිනයේදී විදෙස් මාධ්‍යවේදිනියන් දෙදෙනෙකු ඉලක්ක කළ වෙඩි ප්‍රහාරයද මැතිවරණය පිළිබඳව ආරම්භයේදීම තිගැස්මක් ඇති කළේය.
සම්මානලාභී ජර්මානු ඡායාරූප මාධ්‍යවේදිනියක වන අන්ජා නෙයිඩ්රින්ග්හෝස් සහ කැනේඩියානු ජාතික ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක වන කැතී ගැනොන් මෙසේ ප්‍රහාරයට ලක්වූ මාධ්‍යවේදිනියන්ය. ඔවුන් දෙදෙනාම කාලයක් පුරා ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවයේ කටයුතු කරමින් සිටි අතර, ප්‍රහාරයෙන් අන්ජා ජීවිතක්ෂයට පත්ව, කැතී තුවාල ලැබීය.