ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස පදවි ප්‍රාප්ත වූ ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් ඉතිහාසගත වන හේතු 8ක් පිළිබඳව බී.බී.සී.ය අනාවරණයක් කරයි. මීට පෙර ඇමෙරිකානු සුක්ඛානම හැසිරවූ ජනාධිපතිවරුන් හා සැසඳීමේදී මේ කරුණු 8 තුළින් ට්‍රම්ප් ඉතිහාසගත වී ඇත.
01.) ජනපති පදවියේ දිවුරුම් දුන් වැඩිමහලුම පුද්ගලයා
ඩොනල්ඩ් ට්‍රම්ප් සිය 70 වැනි උපන්දිනය සමරන්නේ එළැඹෙන ජූනි 14 වැනිදාය. ඒ අනුව, ඇමෙරිකානු ජනපති පදවියේ දිවුරුම් දුන් වැඩිමහලුම ජනාධිපතිවරයා වන්නේ ට්‍රම්ප්ය. ඔහුට පෙර රොනල්ඩ් රේගන් වර්ෂ 1981දී මෙම වාර්තාවට හිමිකම් කියූ අතර, එවකට ඔහුගේ වයස අවුරුදු 69කි.
වයසින් මුහුකුරා ගියද, ඇමෙරිකානු ජනාධිපතිවරුන් අතින් සෞඛ්‍යය සම්පන්නම පුද්ගලයා ට්‍රම්ප් බව කියැවේ. මතින් තොර ඔහු, තරණ අවදියේ පවා මත්ද්‍රව්‍ය පාවිච්චි නොකළ බව පවසයි.
02.) ඇ.ඩො.බිලියනය ඉක්මවූ ධනයක් හිමි ජනපති
ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපතිවරයා බවට පත්වන විට ෆෝබ්ස් සඟරාවට අනුව ඔහුගේ වත්කම්වල වටිනාකම ඇ.ඩො.බිලියන 3.7 ඉක්මවයි. මීට පෙර ඇ.ඩො.බිලියනය ඉක්මවූ වත්කම් හිමි අයෙකු ඇමෙරිකාවේ බලයට පත්වී නොමැත. එමෙන්ම, ට්‍රම්ප් පවසන පරිදි ඔහුගේ වත්කම්වල වටිනාකම ඇ.ඩො.බිලියන 10කි.
තමා ජනතාවගේ සේවකයෙකු පවසා ඇති ට්‍රම්ප් සිය ජනපති වැටුප වෙනුවට එක් ඩොලරයක් පමණක් සංකේතාත්මකව වැටුප් ලබන බව පවසා ඇත්තේ, කැලිෆෝනියා ආණ්ඩුකාර ආර්නෝල්ඩ් ස්වසනේගර් යන මග යමිනි.
03.) ධන කුවේරයන්ගෙන් යුතු කැබිනට් මණ්ඩලයක්
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩලය ධන කුවේරයන්ගෙන් සැදුම්ලත් කැබිනට් මණ්ඩලයක් බවට දැනටමත් විවේචන එල්ල වී ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය ධනපතින් විසින් ධනපතීන් සඳහා කෙරෙන පාලනයක් බවට ඩිමොක්රටික් අපේක්ෂක බර්නි සැන්ඩර්සන් පවා වරෙක පවසා තිබුණි.
ඇමෙරිකාවේ යහපත හෝ අයහපත වේවා, ඇමෙරිකානු ඉතිහාසයේ ධනවත්ම පාලන තන්ත්රය ට්‍රම්ප්ගේ කැබිනෙට්ටුව සහිත පාලනාධිකාරිය බව පැවසුවොත් එහි අතිශෝක්තියක් නොමැත.
04.) දේශපාලයේ අවම අත්දැකීම් ඇති ජනපති
ඇමෙරිකානු ආණ්ඩුකාරවරයෙකු හෝ සෙනට් සභිකයෙකුවත් නොවී, සෘජුවම දේශපාලනයට පිවිස, මාස කිහිපයක් තුළ ජනපති පුටුව දක්වා පැමිණි ට්‍රම්ප් දේශපාලනයේ අවම අත්දැකීම් ඇත්තෙකු බව පැවසෙයි.
ට්‍රම්ප්ට පෙර දේශපාලන අත්දැකීම්වලින් තොරව ජනාධිපති පදවියට පත් අවසාන ඇමෙරිකානු ජනපති ලෙස සැලකෙන්නේ ඩ්වයිට් අයිසන්හවර්ය. ඔහු දෙවැනි ලෝක යුද්ධයේ මිත්‍ර හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරියා වූ අතර, වර්ෂ 1953දී ඇමෙරිකානු ජනපති ලෙස තේරීපත් විය.
දේශපාලනය විදග්ධ බවක් නොමැති වුවත්, ගනුදෙනුවක් කරන්නේ කෙසේද යන්න පිළිබඳව තමා හොඳ අත්දැකීම් ඇත්තෙකු බව ට්‍රම්ප් නිතර පවසයි.
05.) ප්‍රබල පවුලක් සහිත ජනාධිපතිවරයෙකු වීම
ට්‍රම්ප් ප්‍රකට ව්‍යාපාරිකයෙකු සේම, ඔහුගේ පවුලේ දූ දරුවන්ද ව්‍යාපාර ක්ෂේත්රයේ හිනිපෙත්තට ගිය පිරිසකි. සිය වැඩිමහලු දියණිය වන ඉවන්කාගේ ස්වාමි පුරුෂයා වන ජෙරාඩ් කුෂ්නර් සිය ප්‍රධාන උපදේශක බවට ට්‍රම්ප් පත් කරගන්නේද තමාට එල්ලවන විවේචන පසෙක දමමිනි.
ඇමෙරිකානු ඉතිහාසය තුළ ජනාධිපතිවරයෙකුගේ බෑණා වරයෙකුට මෙවැනි ඉහළ තනතුරක් හිමිවූ ප්‍රථම අවස්ථාව ලෙසද මෙය ඉතිහාස ගත වන බව නොරහසකි.
06.) සුරතල් සතුන් නොමැති ධවල මන්දිරයක්
අවසන් වරට ධවල මන්දිරයේ සිටි බරැක් ඔබාමාගේ සිට පසුපසට ගත්විට බොහෝ ජනාධිපතිවරුන් සමග ධවල මන්දිරය තුළ විවිධ සුරතල් සතුන් බොහෝ සිටියහ.
නමුත්, සියවසකට ආසන්න කාලය තුළ ධවල මන්දිරය වෙත සුරතල් සතෙකු නොගන පැමිණි පළමු වැනි ජනපති බවට ට්‍රම්ප් පත්වනු ඇත.
07.) නිදහස් වෙළෙඳාමට විරුද්ධ ජනපතිවරයෙක්
ඇමෙරිකානු නිෂ්පාදන කෙරෙහි බලපෑමක් කරන නිදහස් වෙළෙඳ ගිවිසුම් දැඩිව විවේචනය කළ ට්‍රම්ප් සිය මැතිවරණ පොරොන්දු ලෙසද එකී ගිවිසුම් ඉරා දමන බව පවසා සිටියේය.
මෙය ඇමෙරිකානු ජනාධිපතිවරු අතර එතරම් දක්නට නොලැබුණු ලක්ෂණයක් වන අතර, වර්ෂ 1930දී හර්බට් හූවර් ජනාධිපතිවරයා මෙලෙස ක්‍රියාකර තිබුණි.
නැෆ්ටා වෙළෙඳ ගිවිසුම මෙන්ම, පැසිෆික් වෙළෙඳ ගිවිසුමද අවලංගු කරමින් ඇමෙරිකානු නිෂ්පාදනවලට යළි ලෝකය තුළ තැනක් ලබාදෙන බව ඔහු අවධාරණය කළේය.
08.) විවිධත්වයකින් යුතු සුන්දර ජනපති ආර්යාව
ඇමෙරිකානු සම්භවයකින් තොරව, උපතින්ම ඉංග්‍රීසි භාෂාව කතා නොකරන පළමු වැනි ජනපති ආර්යාව මෙලානියා ට්‍රම්ප්ය.
ස්ලෝවෙනියාවේ උපත ලැබූ ඇය ට්‍රම්ප්ගේ තෙවැනි බිරිඳ වන අතර, ඇමෙරිකාවෙන් පිටත උපත ලැබූ දෙවැනි ජනපති ආර්යාව වන්නේද ඇයයි. වර්ෂ 1825දී ඇමෙරිකානු ජනපති ධුරය හෙබවූ ජෝන් ක්වින්සි ඇඩම්ස් ජනපතිගේ බිරිඳ ලන්ඩනයේ ඉපදුණු අයෙකි.
තෙවැනි බිරිඳ ලෙස ධවල මන්දිරයට පැමිණීමත්, වැඩිම භාෂා ගණනක් කතා කරන ප්‍රථම ඇමෙරිකානු ජනාධිපති ආර්යාවත් මෙලානියාය. ඇයට ස්ලෝවේනියානු භාෂාව, ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන් සහ සර්බියානු භාෂාව හොඳින් හැසිරවීමේ හැකියාව ඇති බව කියයි.
එමෙන්ම, ප්‍රකට නිරූපිකාවක ලෙස සිට ජනාධිපති ආර්යාව බවට පත්වූ ප්‍රථම අවස්ථාවද මෙලානියා සතුය.