ඇමෙරිකා එක්සත් ජනපදය වෙත කෙරෙන සියලුම ආකාරයේ සරණාගත පැමිණීම් මාස 4ක කාලයක් සඳහා අත්හිටුවීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කරයි.
ඇමෙරිකානු නව නායකයා විසින් විධායක නියෝග කිහිපයක්ම මෙහිදී නිකුත් කර ඇති අතර, එහිදී, නැවත දැනුම්දෙන තුරු සිරියානු සංක්‍රමණිකයන් ඇමෙරිකා එක්සත් ජනපදය වෙත සරණාගතයන් ලෙස පැමිණීම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමේ නියෝගයක්ද පවතී.
අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදය ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඉවත් කිරීමේ වැඩපිළිවෙළේ කොටසක් ලෙස ට්‍රම්ප් මෙම තීරණයන්ට එළැඹ ඇති බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, සිරියාවට අමතරව ප්‍රධාන ඉස්ලාමීය රාජ්‍යයන් 6කින් ඇමෙරිකාව වෙත පැමිණෙන සංක්‍රමණයන්ද මාස තුනක කාලයක් සඳහා අත්හිටුවීමේ නියෝගයකටද ට්‍රම්ප් අත්සන් කර තිබේ.
එම රාජ්‍යයන් අතර, ඉරාකය, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය පවතී.
ඇමෙරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්ටගනයේ සිට මෙම විධායක නියෝගයන්ට අත්සන් තබා ඇති අතර, මානව හිමිකම් සංවිධාන ඇමෙරිකානු ජනපතිගේ මෙම තීරණය හෙළා දැක ඇති බවද විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මෙම නියෝගයන්ට එළැඹෙමින් ට්‍රම්ප් පවසා සිටියේ, "ඇමෙරිකා එක්සත් ජනපදයෙන් අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදය ඉවත්කර තැබීම සඳහා නව ක්‍රියාමාර්ග කිහිපයක්ම මා විසින් ගනු ලැබුවා. මේ ක්‍රියාමාර්ග සියල්ලම අපේ රට වෙනුවෙන්, අපේ රටට සහාය දක්වන්නන් වෙනුවෙන් සහ අපේ රටේ ජනතාවට සැබෑවටම ආදරය කරන්නන් වෙනුවෙන් ක්‍රියාවට නංවන්න පමණයි අපට අවශ්‍ය වන්නෙ" යනුවෙනි.
එමෙන්ම, නව නියෝජගයන්ට අනුව ඉදිරියේදී ආගම මුල් කරගෙන සරණාගත අයදුම්පත් ඇමෙරිකාව සලකා බැලීමේදී එම අයදුම්පත් ඉදිරිපත් කරන්නන් අදාළ රාජ්‍යයේ සුළුතරයට අයත් වන්නේ නම් ඊට ප්‍රමුඛතාව හිමිවන බවද පැවසෙයි.
මීට අමතරව, 2017 වසරේදී ඇමෙරිකාව වෙත පැමිණෙන සරණාගතයන්ගේ උපරිම සීමාව 50,000ක් ලෙස නියම කිරීමටද නියෝග කර ඇති අතර, එය ඔබාමා පාලනය විසින් ගෙනහැර දැක්වූ උපරිම සීමාවෙන් අඩක් බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.