සියයකට අධික පිරිසකට මරු කැඳවමින් මීට වසරකට පමණ පෙර ගින්නකින් විනාශ වී ගිය බංග්ලාදේශ ඇඟලුම් කර්මාන්තශාලාවේ හිමිකරුවන් දෙදෙනා පසුගියදා අධිකරණයට භාරවූ බව වාර්තා වෙයි.
මහල් නවයකින් යුතු වූ මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ හටගත් හදිසි ගින්න නිසා සිදුවූ මරණ සංඛ්‍යාව වැඩිවූයේ එහි හදිසි දොරටු නොමැති වීමෙන් බව පසුව අනාවරණය විය.
කෙසේ වෙතත්, මෙම ගින්නත් සමග මෙම ඇඟලුම් කර්මාන්තශාලවේ හිමිකරුවන් අතුරුදන් වූ අතර, වසරකට පසු ඔවුන් අධිකරණය හමුවේ පෙනී සිටීමට ඉදිරිපත් වී තිබිණි.
දිල්වාර් හුසේන් සහ ඔහුගේ බිරිඳ මෙසේ අධිකරණය හමුවේ පෙනී සිටිමින් තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියද, බංග්ලාදේශ අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන් බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
ඩකා අගනුවර පිහිටි මෙම කම්හලේ නිමැවුණු ඇඟලුම් එක්සත් ජනපදයේ වෝල්මාට් ඇතුළු ජාත්‍යන්තර සමාගම්වලට සැපයෙමින් තිබුණි. කෙසේ වෙතත්, බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්තයේ වාර්තා වූ ප්‍රථම හා එකම ව්‍යසනයන මෙය නොවන අතර, මෑත කාලයේදී මෙම ක්ෂේත්රයේ හදිසි අනතුරු රැසක් වාර්තා විය.
ලාබ ශ්‍රමය ප්‍රයෝජනයට ගනිමින් වහලුන් සේ සේවකයන්ගෙන් වැඩ ගනිමින්, කිසිදු පහසුකමක් හෝ ආරක්ෂාවක් නොදී මිනිසුන් සේවයේ යෙදවීම නිසා මේ ආකාරයේ හදිසි අනතුරු බංග්ලාදේශයේ නිතර සිදුවන බවට චෝදනා එල්ල වෙයි.